වයස අවුරුදු 8ක බෙල්ජියම් දරුවා විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සමත්


සුවිශේෂී බුද්ධි මට්ටමකින් යුතු වයස අවුරුදු 8ක බෙල්ජියමේ දරුවෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත්ව ඇති පුවතක් වාර්තා වෙයි.

ලෝරන්ට් සයිමන්ස් නමැති මෙම දරුවා, සාමාන්‍ය දරුවෙකු විසින් තවත් වසර හයකට වඩා වැඩි කාලයක් සපුරාලිය යුතු අධ්‍යාපනය වසර එකහමාරක් වැනි කෙටි කාලයකින් අවසන් කරමින් මෙවැනි විශේෂ කුසලතාවක් පෙන්වා තිබේ.

බුද්ධි ඵල මානක හෙවත් IQ Tests ප්‍රතිඵල අනුව සයිමන්ස් ලකුණු 145ක් පෙන්වා ඇති බව ඔහුගේ දෙමවුපියන් පවසන අතර, මෙසේ බුද්ධි ඵලය 145 – 160 අතර අගයක් ගන්නා අය සැලකෙන්නේ ප්‍රවිඥයන් (geniuses) ලෙසිනි.

බෙල්ජියම් ජාතික පියෙකුට සහ නෙදර්ලන්ත ජාතික මවකට දාව උපන් සයිමන්ස් වයස අවුරුදු 18ක දරුවෙකු විසින් ලැබිය යුතු ඩිප්ලෝමාවක්ද මේ වනවිට සම්පූර්ණ කර ඇති බව කියැවෙයි.

බෙල්ජියමේ ආර්.ටී.බී.ටී. රේඩියෝවේ වැඩසටහනකට එක්වෙමින් සයිමන්ස් පවසා සිටියේ තමාගේ ප්‍රියතම විෂයය ගණිතය බවයි.

ගණිතය විෂයයෙහි ඇති සංඛ්‍යාති, ජ්‍යාමිති සහ වීජ ආදී අතිශය පැතිරුණු ස්වභාවය ඊට හේතුව බවද ඔහු පවසා තිබේ.

ඉදිරියේ වූ මාස දෙකක නිවාඩු කාලයෙන් පසුව සයිමන්ස් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට සූදානමින් සිටියි.

ඔහු කුඩා කාලයේ වෙනත් දරුවන් මෙන් සෙල්ලම් බඩු සමග කෙළිදෙළින් ගත නොකළ දරුවෙකු බව පවසන ඔහුගේ දෙමවුපියන්, විශ්වවිද්‍යාලයේදී වැඩිහිටි ශිෂ්‍යයන් සමග ඔහු කෙසේ මුහුවනු ඇතිදැයි යන පැනයද නඟමින් සිටියි.

කෙසේ වෙතත්, සයිමන්ස් පවසන්නේ ශල්‍යවෛද්‍යවරයෙකු හෝ ගගනගාමියෙකු වීම තම බලාපොරොත්තුව වී තිබුණත්, පරිගණක අංශයෙන් ඉදිරියට යෑමේ සිහිනයක් දැන් තමා තුළ පවතින බවයි.



Recommended Articles