"The De Beers Cullinan Blue" ලෙස නම් කර ඇති, කැරට් 15.10ක ඔපදැමූ ලොව විශාලතම නිල් දියමන්තිය හොංකොං හිදී විනාඩි 08කට පමණක් සීමා වූ Sotheby's වෙන්දේසියේදී අලෙවි වී තිබේ.
ඒ අනුව, එහි ඉහළම ඇස්තමේන්තුව වූ ඇ.ඩො.මිලියන 48ක් ඉක්මවා ගිය, ඇ.ඩො.මිලියන 57.5ක ජයග්‍රාහී ලංසුව දුරකථනය හරහා පැමිණියේ නිර්නාමික ගැනුම්කරුවෙකුගෙනි.
දුර්ලභ දියමන්තිය 2021 දී දකුණු අප්‍රිකාවේ කූලිනන් පතලෙන් සොයා ගන්නා ලද අතර, එය වර්ණ දියමන්ති විනිශ්චය කරන ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබා ඇත.
මෙම දියමන්තිය "විශේෂයෙන් දුර්ලභ" එකක් ලෙස විස්තර කරන Sotheby's ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් කළේ වෙන්දේසියේ මෙතෙක් පෙනී සිට ඇත්තේ කැරට් 10ට වැඩි දියමන්ති පහක් පමණක් බවය. කිසිවක් කැරට් 15ට වඩා වැඩි වී නැති බැවින්, මෙම දෝෂ රහිත දියමන්තියේ පෙනුම එහි සුවිශේෂී බව තහවුරු කරන්නේ යැයි ඔවුන් කියයි.
කෙසේ වෙතත්, ඇ.ඩොලර් 57,471,960 ක අවසාන මිලක් සමග, වෙන්දේසියේදී මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිල් දියමන්තිය සඳහා වූ වාර්තාව පිහිටුවීමට "The De Beers Cullinan Blue" දියමන්තියට යන්තමින් මගහැරී ගියේය. මන්දයත් එම වාර්තාව තවමත් ඇත්තේ, කැරට් 14.62ක් වූ "Oppenheimer Blue" දියමන්තිය සඳහාය. එය 2016 දී අවසන් මිල ඇ.ඩොලර් 57,541,779කට අලෙවි වූ අතර, ඒ නිසා එයට තවමත් ඩොලර් 70,000ක පරතරයක් ඇත.
Sotheby's Asia හි සභාපති පැටී වොන්ග් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, "එය සැබවින්ම පරම්පරාවකට වරක් පැමිණි ගලක් වන අතර, ඉතා සරලව මා දැක ඇති එහි ප්‍රමාණයෙන් විශාලතම නිල් දියමන්තියයි." යනුවෙනි.