ලෝක ආර්ථිකයෙන් මසකට ඩො.බි.375ක් කොවිඩ් නිසා වැයවන බව WHO කියයි


කොවිඩ් -19 වසංගතයට ගෝලීය වශයෙන් මසකට ඇ.ඩො.බිලියන 375ක් වැය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තොරතුරු මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙම අනාවරණය කරයි.

බ්‍රහස්පතින්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ, "වසංගතයෙන් ගෝලීය ආර්ථිකයට මසකට ඇ.ඩො.බිලියන 375ක් වැය වන අතර, වසර දෙකක් තුළ එක්සත් ජනපද ට්‍රිලියන 12කට අධික ගෝලීය සමුච්චිත අලාභයක් මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබෙනවා" යනුවෙනි.

"වසංගතයේ කෙටි කාලීන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ලෝකය දැනටමත් ඇ.ඩො.ට්‍රිලියන ගණනක් වියදම් කර ඇති බවද සඳහන් කළ යුතුයි" ටෙඩ්‍රොස් තවදුරටත් පැවසීය.

වසංගතයේ ප්‍රතිවිපාක ලෙස ප්‍රතිකාර කිරීම් සහ වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා G20 රටවල් පමණක් ඇ.ඩො.ට්‍රිලියන 10කට වැඩි රාජ්‍ය මූල්‍ය උත්තේජනයක් තම රටවල ආර්ථිකයන්ට ලබාදී තිබේ. එය දැනටමත් ගෝලීය මූල්‍ය අර්බුදයට සමස්ත ප්‍රතිචාරය සඳහා ලෝකය වැය කළ මුදල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය.

මේ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'ACT ඇක්සලරේටරයට' අරමුදල් සැපයීම ලෝකයට ආයෝජනය කළ හැකි හොඳම ආර්ථික උත්තේජනය බව ටෙඩ්‍රොස් පැවසීය.

වසංගතය අවසන් කිරීම සඳහා අවශ්‍ය සියලුම මෙවලම් සඳහා අවශ්‍ය සියලුම ගෝලීය පර්යේෂණ හා සංවර්ධන නිෂ්පාදන නියාමන මිලදී ගැනීම් සහ ප්‍රසම්පාදනයන් එකට ගෙන එන එකම සහ ක්‍රියාත්මක වන ගෝලීය මුලපිරීම 'ACT ඇක්සලරේටරය'යි.



Recommended Articles