ලොස් ඇන්ජලීස් ප්‍රාණ ඇපකාර සිද්ධියේ සැකකරු අත්අඩංගුවට


ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සුපිරි වෙළෙඳ සැලක් තුළ පුද්ගලයන් 40 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

ට්විටර් පණිවුයක් නිකුත් කරමින් ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව පවසා සිටියේ සැකකරු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි.

මෙම සිද්ධියේදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සැකකරු ගිනි අවියක් අමෝරාගෙන වෙළෙඳ සැලට කඩා වදින විට බොහෝ දෙනා එහි ජනේලවලින් පවා පිටතට පනිමින් දිවි බේරාගැනීමට දිවගොස් තිබේ.

ඒ අවස්ථාවේදී ඔහු එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් වෙළෙඳ සැලේ සිටි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිදුවීමට පෙර කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තැබූ මෙම සැකකරු පසුපස පොලීසිය හඹා වනවිට ඔහු ට්‍රේඩර් ජෝර්ස් සුපිරි වෙළෙඳ සැල තුළට කඩා වැදී ඇත.

සැකකරු වයස අවුරුදු 28ක අප්‍රිකානු ඇමෙරිකානුවෙකු වන අතර, පසුව ඔහු මෙම ප්‍රහාරය අත්හැර පොලීසියට භාරවී තිබේ.

එහිදී, පොලීසිය විසින් වෙළෙඳ සැල තුළට වීසිකරන ලද මංචු තමා විසින්ම පැළඳගෙන පිටතට පැමිණෙන ලෙස පොලීසිය ඔහුට අණකර ඇති අතර, ඔහු ඒ අණ පිළිගෙන පැමිණ සිටි බවත් පොලීසිය සමග වෙඩි හුවමාරුවේදී ඔහුගේ එක් අතකට තුවාල සිදුව ඇති බවත් ලොස් ඇන්ජලීස් පොලීසිය පවසයි.

සැකකරු මුලින් වෙඩි තබා ප්‍රහාරයක් එල්ල කර පැමිණි කාන්තාවන් අතර ඔහුගේ ආච්චි අම්මාද සිටින අතර, ඇය මේ බරපතළ තුවාල සහිතව රෝහල්ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



Recommended Articles