ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කෝවිඩ්-19 ආසාදිතයන් වාර්තා වූ දිනය ගෙවීගිය ඉරිදා දිනය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ඊයේ (08දා) ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
"ඉරිදා දිනයේ ආසාදිතයන් 136,000කට වඩා වාර්තා වී තිබෙනවා. මේ දක්වා එක් දිනක් තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ දිනය මෙයයි. ඒ වගේම ඉරිදා දිනයේ ආසාදිතයන්ගෙන් 75%ක්ම පැමිණ ඇත්තේ රටවල් 10කින්. ඒ වැඩි දෙනා ඇමෙරිකානු කලාපයෙන් සහ දකුණු ආසියාවෙන් වාර්තා වී තිබෙනවා." ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
"අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල් තවමත් කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීමක් අත්විඳිමින් සිටිනවා. එම කලාපයේ සමහර නව භූගෝලීය ප්‍රදේශවල ආසාදිතයන් වාර්තා වන අවස්ථා ඇතත්, අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල ආසාදිතයන් 1,000කට වඩා අඩු සංඛ්‍යාවක් පවතිනවා" ටෙඩ්‍රොස් වැඩිදුරටත් පැවසීය.
ඇමෙරිකානු කලාපයේ එක්සත් ජනපදය, කැනඩාව මෙන්ම දකුණු ඇමෙරිකානු රටවල් වන බ්‍රසීලය, මෙක්සිකෝව, පේරු, චිලී ආදී රටවල ආසාදිතයන් ඉහළ අගයක් පෙන්වන අතර, දකුණු ආසියානු කලාපයේ ප්‍රධන වශයෙන් ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය ආසාදිතයන් ඉහළ අගයක් පෙන්වන රටවල්ය.