ලොව බලවත්ම හමුදාවටත් කොරෝනාව තර්ජනයක්ලු


ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක කොවිඩ්-19 සිද්ධීන් සැලකිය යුතු ලෙස ඉහළ යාම මධ්‍යයේ, ඇමෙරිකානු හමුදාවේ ඉහළම ජෙනරාල්වරයා පවසන්නේ ඔහුගේ සියලු අණදෙන නිලධාරීන් තවමත් වෛරසය බැරෑරුම් ලෙස ගත යුතු බවයි.

එක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජේම්ස් මැක්කොන්විල් තම අණදෙන නිලධාරීන්ට විශේෂ සංදේශයක් නිකුත් කරමින් පුංචි කොරෝනාව ලොව බලවත්ම හමුදාවටත් තර්ජනයක් බව නොකියා කියා තිබේ.

"මුඛ ආවරණ පැළඳීම, කොවිඩ් පරීක්‍ෂා කිරීම, ලුහුබැඳීම් සිදුකිරීම සහ ඒ පිළිබඳව ඉතා විනයගරුක වීම වැනි ප්‍රමිතීන් අප විසින් රඳවාගෙන සිටි නිසා අප ඉතා අසීරු දේවල් සිදුකර තිබෙනවා. නමුත් ඔවුන් නොදන්නා තැන්වල, නමුත් අප දකින පරිදි රටේ බොහෝ ප්‍රදේශවල, ඔබගේ ගේට්ටුවලින් පිටතට ගොස් නිදහසේ හැසිරීම තවදුරටත් තර්ජනයක් නැතැයි සිතන පිරිසක් සිටිනවා" මැක්කොන්විල් වාර්තාකරුවන්ට පැවසීය.

"මම හිතන්නෙ එතන වෛරසය තියෙනවා කියලයි. ඒ නිසා අප එය බැරෑරුම් ලෙස ගත යුතුයි. එය අපගේ සියලු ඒකකවල අණදෙන නිලධාරීන්ට ලබාදෙන මඟ පෙන්වීමයි. අප එය බැරෑරුම් ලෙස ගත යුතුයි."

වෛරසයට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටින ලෙස සතියක් තුළ එක්සත් ජනපද හමුදාවන්ට අනතුරු ඇඟවූ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ දෙවැනි සාමාජිකයා වන්නේ මැක්කොන්විල් ය.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩේවිඩ් ගෝල්ඩ්ෆේන් ජුනි 18දා වොෂිංටන් ප්‍රාන්තයේ ඒකාබද්ධ කඳවුරේ ලුවිස්-මැක්කෝඩ් හි භට පිරිස් අමතමින්, "සියල්ලටම වඩා, අප ජීවත් වන්නේ වෛරසය සමග බවත්, මේ වෛරසය චක්‍රීය බවත් අප තේරුම් ගත යුතුයි." යනුවෙන් පවසා සිටියේය.

"එයින් ආරක්ෂා වීමට අප ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන ප්‍රමාණවත් තරම් අප දන්නවා. සමාජ දුරස්ථභාවය, මුඛ ආවරණයක් පැළඳීම සහ ඔබට යම් රෝග ලක්ෂණයක් දැනෙන්නේ නම් කල්තියා හඳුනා ගැනීම, අප විසින් සකස් කර ඇති ක්‍රියා පටිපාටි පිළිබඳව විනයගරුකව හා කඩිසරව තබා ගත හැකි නම්, අපට දිගටම ක්‍රියාත්මක වී නොනැසී පවතින්නට පුළුවන්. අපට අපගේ ආරක්ෂාව අඩු කළ නොහැකියි." ජෙනරාල් ගෝල්ඩ්ෆේන් වැඩිදුරටත් කියා සිටියේය.

බොහෝවිට එක්සත් ජනපද හමුදාව ලොව ප්‍රබලතම හමුදාව ලෙස සැලකෙන පසුබිමක, විශේෂයෙන් හොලිවුඩ් නිර්මාණයන්හි අඟහරු ලෝකයෙන් පැමිණෙන උවදුරුවලට පවා පහරදීමට ක්ෂණිකව ක්‍රියාත්මක විය හැකි අධි තාක්ෂණයෙන් යුතු හමුදාවකට, පුංචි කොරෝනා වෛරසයක් හමුවේ දණ ගැසීමට සිදුවීමද දෛවයේ සරදමකි.



Recommended Articles