ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි


ඌරෙකුගෙන් ලබා ගත් අක්මාවක් ලොව පළමුවරට මිනිසෙකුට සාර්ථක ලෙස බද්ද කිරීමක් පසුගියදා චීනයේදී සිදු වුණු බව වාර්තා වෙයි. මෙහිදී අදාළ ඉන්ද්‍රිය මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාව අඩු කිරීම සඳහා එම ඌරා ජානමය වෙනස්කමකට ලක් කෙරුණු ඌරෙකු බවත් පැවසෙයි. 

මොළය මිය ගිය එහෙත් ජීවත්ව සිටින රෝගියෙකු වෙනුවෙන් මෙම අක්මා බද්දය සිදු කර තිබේ. චීනයෙ ෂිආන් පළාතේ ෂිජින්ග් රෝහලේදී පරීක්ෂණයක් ලෙස සිදු කළ මෙම බද්ද කිරීමේ සාර්ථකත්වයත් සමගින්ම එම පුද්ගලයා තුළ හොඳින් අත්‍යවශ්‍ය ප්‍රෝටීන නිපදවෙන බව වෛද්‍යවරුන් පවසයි. 

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම රෝගියාගේ ඥාතීන් අදාළ පරීක්ෂණය දින 10කට පසුව නවත්වන ලෙස දැනුම් දීතිබුණද, එම ඌරු අක්මාව අදාළ රෝගියා තුළ වැඩි කාලයක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් වෙයි. 

අදාළ බද්ද කිරීම සිදු කළ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට අනුව රෝගියා වෙත ලබා ගෙන ඇත්තේ බාමා ලෙස හැඳින්වෙන කුඩා ප්‍රමාණයේ ඌරෙකුගේ අක්මාවකි. එහිදී මිනිසුන් වෙත බද්ද කිරීම සඳහා ගැලපෙන ලෙස එම අක්මාවේ ප්‍රධාන ජාන හයක් වෙනස් කිරීමට කටයුතු යොදා තිබේ. 

මෙම පරීක්ෂණය පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය විශේෂඥයන්, එය වෛද්‍ය ක්ෂේත්‍රය ලැබූ අතිවිශාල සාර්ථකත්වයක් බව පවසාසිටියි. එසේම මෙය අනාගතයේදී ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා වන කැපී පෙනෙන සන්ධිස්ථානයක් වනු ඇතැයිද ඔවුන් සඳහන් කරයි. 

මෙම සැත්කම සිදුකළ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය ලි වාන්ග් සඳහන් කරන ආකාරයට, මෙම බද්ද කිරීම වෛද්‍ය බලධාරීන්ගෙන් ලබාගත් සියලුම ආකාරයේ සදාචාරාත්මක අනුමැතීන්වලට යටත්ව සිදුකළ බව පවසා තිබේ. එසේම අදාළ රෝගියාගේ පවුලේ ඥාතීන්ගෙන්ද පූර්ව අනුමැතියක් ඒ වෙත ලබා ගෙන තිබේ. 

“ඌරාගෙන් ලබාගත් අක්මාව ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මෙය අපි ලබා ගත් ඉතා සුවිශේෂී සාර්ථකත්වයක්.“  

මේ දක්වා ලොව තුළ ඌරන්ගෙන් ලබා ගත් ජානමය වෙනස්කම්වලට ලක් කෙරුණු හදවත්, වකුගඩු මිනිසුන් වෙත බද්ද කිරීමේ අවස්ථාවන් කිහිපයක්ම වාර්තා වී තිබේ. එහෙත් ඒ අතරින් රෝගීන් කිහිප දෙනෙකුම සැත්කම සිදුකර සතියක් පමණ ඇතුළතදී මරණයට පත්ව තිබේ. කෙසේ වෙතත් ඌරු වකුගඩු බද්ද කළ පුද්ගලයන් දෙදෙනකු තවමත් ඉතාමත් හොඳින් ජීවත් වන බව එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි. 

“අක්මාවක් බද්ද කරනවා කියන්නේ ඉතාමත් සංකීර්ණ දෙයක්. මොකද හදවත රුධිරය පොම්ප කරනවා විතරයි. වකුගඩුවෙන් යූරින් නිපදවනවා. නමුත් අක්මාවක් කියන්නේ බොහෝ කාර්යයන් සිදු කරන ඉන්ද්‍රියක්. ඒ නිසා මේ කටයුත්ත ඉතාමත් අසීරු වුණා.“ මහාචාර්ය වැන්ග් පවසයි. 

අද වනවිට මිනිසා වෙත අවශ්‍ය ඉන්ද්‍රිය ලබා ගැනීමේදී ඌරන් වෙත දැන් වැඩි අවධානයක් යොමුව තිබේ. විශේෂයෙන්ම ඌරන් සතු ඉන්ද්‍රියන් මිනිස් ඉන්ද්‍රියන් හා ප්‍රමණයෙන් සහ සැකැස්මෙන් සමානවීම ඊට හේතුවයි. ඒ අනුව මිනිසුන්ට අවශ්‍ය ඉන්ද්‍රිය ප්‍රදානය සඳහා අවශ්‍ය ඌරන් මේ වනවිට ඉතාමත් පිරිසිදු පරිශ්‍රයන්හි ඇති කිරීමටද පර්යේෂකයෝ කටයුතු කරමින් සිටිති. 

කෙසේ වෙතත් ඌරන්ගෙන් ලබා ගන්නා ඉන්ද්‍රියන් මිනිසා වෙත බද්ද කිරීමේදී මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඒවා ප්‍රතික්ෂේප කිරිම වැළැක්වීම සඳහා අදාළ ඌරන් සතු ප්‍රධාන ජාන වෙනස් කිරීමක් සිදු කෙරේ. 

මේ අතර චීන පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට මෙලෙස ඌරන්ගෙන් ලබා ගන්නා ඉන්ද්‍රිය මිනිසුන් වෙත ලබාදෙන්නේ තාවකාලික සහයෝගයක් පමණකි. අදාළ රෝගියා වෙත ස්ථිරවම බද්ද කිරීම සඳහා සුදුසු මිනිස් අක්මාවක් සොයා ගැනීමට අවස්ථාව ලබා දෙමින් මෙමගින්  ලබා දෙන්නේ තාවකාලික සහනයක් පමණක් බව ඔවුන් පවසයි. 

එසේම මෙවැනි ආකාරයේ අක්මා බද්ද කිරීම් ඉදිරියේදී අත්හදා බැලීමටද චීන පර්යේෂයන් සූදානමින් සිටියි. එහිදී මොළය මිය ගිය රෝගීන් වෙනුවෙන් එය සිදු කරන බවත්, ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිඵල අනුව ජීවත්ව සිටින පුද්ගලයන්ට සායනිකව ඌරු අක්මා බද්ද කරන බවත් ඔවුන් සඳහන් කරයි. 



Recommended Articles