ලොම්බොක් භූ කම්පනයේ මරණ 300 ඉක්මවයි - ප්‍රබල පසු කම්පන


ඉන්දුනීසියාවේ, ලොම්බොක් දූපතේ සිදුවූ භූ කම්පනයේ සහ පසුකම්පනයන්ගේ මරණ සංඛ්‍යාව 300 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ ආකාරයේ විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදුව ඇති බව ඊයේ දිනයේදීද එරට මාධ්‍ය වාර්තා කළද එය නිල දත්ත සමග තහවුරු කර නොතිබුණි.

කෙසේ වෙතත්, මේ වනවිට ලොම්බොක් හි ප්‍රාදේශීය මාධ්‍යයන්ට අනුව මරණ සංඛ්‍යාව 350ට ආසන්න වී තිබේ.

මේ අතර, ඉරිදා ඇති වූ රික්ටර් පරිමාණ 6.9ක ප්‍රබල භූ කම්පනයෙන් පසුව පසු කම්පන 350කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙයි.

මෙම පසුකම්පන අතර ඊයේ දිනයේදී වාර්තා වූ රික්ටර් පරිමාණ 5.9 සහ 6.2ක පසුකම්පනයන්ද ගොඩනැගිලි රැසක් බිමට සමතලා කිරීමට තරම් ප්‍රබල ගණයේ ඒවා බව සඳහන් විය.

මේ අතර, ප්‍රධාන භූ කම්පනයෙන් පසුව අතුරුදන්වූවන් සොයා සිදුකරන සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුවන බවද එරටින් ලැබෙන වාර්තා පවසයි.



Recommended Articles