ලෙබනන් ඛේදවාචකයෙන් පසු සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව


බේරූට්හි සිදු වූ විනාශකාරී පිපිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ විමර්ශනය අඛණ්ඩව සිදුවන අතර, වරාය සංකීර්ණයේ ගබඩාවක අනාරක්ෂිත ආකාරයෙන් ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් මෙට්‍රික් ටොන් 2,750ක් මෙම පිපිරීමට හේතුව බව මේ වනවිට තහවුරු වී ඇත.

කෘෂිකාර්මික පොහොර සැකසීමට මෙන්ම, පතල් කැණීම් පුපුරණ ද්‍රව්‍ය සඳහාද යොදා ගන්නා මෙම තොගය 2013 දී රුසියාවට අයත් නෞකාවකින් බේරූට් වෙත පැමිණ එකක් බවට තොරතුර හෙළි වෙමින් පවතී. එම්වී රෝසස් නම් වූ එම නෞකාව මොසැම්බික් බලා පිටත් වූ නමුත් මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් බේරූට්හි නතර වී ඇති අතර, පසුව එය එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කර තිබේ.

"නුසුදුසු දේශගුණික තත්ත්වයන් යටතේ මෙම ගබඩා කර ඇති භාණ්ඩ නිසා ඇති වන අධික අන්තරාය හේතුවෙන්, වරායේ සහ එහි සේවය කරන අයගේ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා භාණ්ඩ වහාම යළි අපනයනය කරන ලෙස අපි වරාය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා." එරට හිටපු රේගු ප්‍රධානියා කියා සිටියේය.

කෙසේ වෙතත් අඟහරුවාදා බේරූට් හිදී සිදුවූ පිපිරීමට හේතුව පවසද්දී, ලෙබනන් බලධාරීන් එම්වී රෝසස් නෞඛාව නම් කර නොමැති නමුත් අගමැති හසන් ඩයබ් පැවසුවේ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750 ක් විනාශකාරී පිපිරීමක් සිදුව ඇති බවයි. පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් මේවා වසර හයක් තිස්සේ වරාය ගබඩාවේ ගබඩා කර තිබී ඇති බව ඔහු පැවසීය.

මීට වසර ගණනාවකට පෙර මෙම තොගය, රාජසන්තක කර වරාය ගබඩාවක් තුළ ගබඩා කර තිබූ බව ලෙබනනයේ ආරක්ෂක ප්‍රධානියාද තහවුරු කර තිබේ. කෙසේ වෙතත් අඟහරුවාදා සිදු වූ දැවැන්ත පිපිරීමෙන් අගනුවර දෙදරුම් කෑ අතර, මේ වනවිට ඒ අවට කිලෝමීටර් ගණනාවක් දුරට සුන්බුන් ගොඩක් පමණක් දැකිය හැකිය. පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 135 දෙනෙකුවත් මියගොස් ඇති බව කියවුණත්, මරණ සංඛ්‍යාව මීට වඩා බොහෝ වැඩිවිය හැකි බව විශ්වාස කෙරෙයි. එමෙන්ම තුවාල ලැබූවන්ද 5,000කට වැඩි බව දැන් සඳහන් වේ.

ඒ අනුව තවදුරටත් සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් සිදුවන අතර, තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල්වල ඉඩකඩ ප්‍රමාණවත් නොමැති තත්ත්වයක්ද උද්ගත වී තිබේ. විශේෂයෙන්ම පිපිරීමත් සමග ඇතැම් රෝහල්වලට දැඩි හානි සිදුවීමත්, මේ වනවිට නව කොරෝනා වසංගතයෙන්ද බේරූට් නගරය පීඩා විඳීමත් ඊට හේතු වී ඇත.

මේ අතර අඟහරුවාදා සිදු වූ දැවැන්ත පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බේරූට් වරාය නිලධාරීන් ගණනාවක් නිවාස අඩස්සියේ තබා ඇති බව ලෙබනන් රජය පවසයි. මේ වනවිට සති දෙකක හදිසි තත්ත්වයක්ද ආරම්භ වී තිබේ.



Recommended Articles