ලිංගික අපයෝජන චෝදනා ලැබූ පටේකාර්ට එරෙහි සාක්ෂියක් නෑ


ලිංගික අඩන්තේට්ටම් චෝදනාවකට ලක්ව සිටි බොලිවුඩයේ ප්‍රකට නළු නානා පටේකාර් සම්බන්ධයෙන් සාක්ෂි නොමැති බැවින් ඔහු චෝදනාවලින් නිදහස් කර තිබේ.

2008 වසරේදී චිත්‍රපට රූගත කිරීමත් අතරතුර තමාට ලිංගික අඩන්තේට්ටම් සිදුකළ බවට එම චිත්‍රපටයේම රංගනයේ යෙදුණු තනුශ්‍රී දුත්තා චෝදනා කළාය.

කෙසේ වෙතත්, මෙම චෝදනා මුල සිටම පටේකාර් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

නමුත්, මෙම සිදුවීම 2018 වසරේදී යළිත් කරලියට පැමිණියේ #MeToo ව්‍යාපාරය හරහා දුත්තා විසින් මෙම සිද්ධිය යළිත් හාරා ඇවිස්සීම නිසාය.

මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන දුත්තා පවසන්නේ, ඔවුන් රංගනයේ නිරත වූ චිත්‍රපටයේ ගීතයක් වෙනුවෙන් අතිශය සරාගී නර්තනයක් පටේකාර් ඉල්ලා සිටියත්, තමන් එය ප්‍රතික්ෂේප කළ බවයි.

නමුත්, තමන් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු තමාට තර්ජනය කළ බවත්, ඒ වනවිට තමා 24 හැවිරිදි වියේ පසුවූ බවත් ඇය කියා තිබුණි.

නමුත් පටේකාර් පවසා තිබුණේ, ඇය කියන අන්දමේ ලිංගික අඩන්තේට්ටමක් තමන් නොදන්නා බවත්, එම චිත්‍රපට ගීතය පටිගත කරන අවස්ථාවේ 200ක පමණ පිරිසක් ඔවුන් ඉදිරියේ සිටිය බවත්ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂියක් සොයාගත නොහැකි බව පවසන මුම්බායි පොලීසිය, මෙම පරීක්ෂණය ඉදිරියට ගෙනයෑමට නොහැකි බව පවසමින් මෙය ඉවත දමා තිබේ.



Recommended Articles