ලාඕසයේ ජල විදුලි බලාගාරයක් සඳහා ඉදිකරමින් පැවති වේල්ලක් පුපුරා යාමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව එරට රජය මගින් ප්‍රකාශයට පත්කළ සංඛ්‍යාවන්ට වඩා බොහෝ සෙයින් වැඩි බව ප්‍රදේශයේ ජනතාව සහ ආධාර දෙන සංවිධාන පවසයි.
නමුත්, ලාඕස් බලධාරීන් පවසා තිබුණේ ඊසානදිග ලාඕසයේ ෂේපියෑන්-ෂී නැම් නොයි ජල විදුලි බලාගාරයේ වේල්ල පුපුරා යාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් 27 දෙනෙකු පමණක් ජීවිතක්ෂයට පත්ව ඇති බවකි.
එමෙන්ම, මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන්ද රජය තොරතුරු වසන් කරමින් සිටින බවටද චෝදනා නැගෙයි.
විශේෂයෙන්ම විදෙස් මාධ්‍යයට මෙම කලාපය තහනම් කර පැවතියත්, මාධ්‍යවේදීන් පිරිසක් මෙම අනතුර සිදුවූ කලාපයට ඇතුළු වීමට සමත්ව තිබුණි.
මෙම අනතුර සිදුවූ අටාපිඕ ප්‍රදේශය ආසන්නයේ වූ ප්‍රධාන රෝහල අනතුරින් විපතට පත්වූවන්ට ප්‍රතිකාර කළ එකම වෛද්‍ය මධ්‍යස්ථානය බවද එම මාධ්‍ය වාර්තා කරන්නට විය.
මෙහිදී ඔවුන්ට හමුවූ යුවළක් පවසා තිබුණේ ඔවුන්ගේ දියණියන් දෙදෙනා ජලයේ ගසාගෙන ගිය බවයි. බිළිඳු දියණිය ජලයට වැටී ගසාගෙන යනවිට ඇය රැකගැනීමට උත්සාහ කිරීමේදී වයස අවුරුදු 4ක් වූ අනෙක් දියණියද ජලයේ ගසාගෙන ගිය බව මෙම යුවළ පවසා ඇත.
මෙය මෙම ඛේදවාචකයට මුහුණදුන් මිනිසුන්ගේ කඳුළු කතාවල එක් කතාවක් පමණක් බව පවසන ඔවුන්, බොහෝ දෙනෙකු පිළිබඳ තවමත් තොරතුරු නොපවතින බවද සඳහන් කරයි.
ලාඕසයේ කොමියුනිස්ට් රජය මෙම තොරතුරු වසන් කිරීම හේතුවෙන් මේ දැවැන්ත විපතින් සිදුවූ හානිය පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබාගැනීම බොහෝ අපහසු කාර්යයක් යැයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.