ලාඕසයේ වේල්ල පිපිරීමෙන් ජලය කියුබික් මීටර් බිලියන 5ක ගංවතුරක්


ඊසානදිග ලාඕසයේ ජල විදුලි බලාගාරයක් වෙනුවෙන් ඉදිකළ වේල්ල පුපුරා යාමෙන් සිදුවූ අනතුරෙන් අතුරුදන් පිරිස සිය ගණනක් බව බලාධාරීහු පවසති.

ෂේපියෑන්-ෂී නැම් නොයි ජල විදුලි බලාගාරයේ වේල්ල මෙසේ පුපුරා ගොස් ඇති අතර, මේ සමගම පහළ වූ ගම්මාන රැසක් සම්පූර්ණයෙන්ම ක්ෂණිකව ජලයෙන් යට වී තිබේ.

ඒ අනුව, මේ වනවිට 6,000කට ආසන්න පිරිසකට උන්හිටි තැන් අහිමිව ඇති බව ලාඕසයේ බලධාරීහු පවසති.

මේ වනවිටත් ඉදිකෙරෙමින් පැවති වේල්ලක් මෙසේ පුපුරා ගොස් ඇති අතර, එම පිපිරීමත් සමග ජලය කියුබික් මීටර් බිලියන පහක්, එනම් ඔලිම්පික් ජල තටාක මිලියන දෙකක් පිරවීමට තරම් ප්‍රමාණවත් ජල කඳක් එක්වරම පහත් බිම් කරා ඇදී ගොස් තිබේ.

එනමුදු, මෙම වේල්ල පුපුරා යාමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, බලධාරීන් ගංවතුරෙන් අතුරුදන් වූ පිරිස් සෙවීමේ මෙහෙයුම් සහ විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් කඩිනම් කර තිබේ.

ප්‍රංශ පුවත් සේවය පවසා තිබුණේ මියගිය පිරිස පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් ලැබී නැතත්, සිය ගණනක් පිරිස අතුරුදන්ව ඇති බව අනාවරණය වන බවයි.

මේ අතර, ප්‍රදේශයේ දුරකථන සම්බන්ධතා සියල්ල අක්‍රීය වී ඇති අතර, සනාම්ක්සේ දිස්ත්‍රික්කයේ ගම්මාන 6ක ජනතාව මින් දැඩි පීඩාවකට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles