රෝහල් ලොබිවල මිනී කඳු ආසාදිතයන් කොරිඩෝවල කොවිඩ් ඉන්දියාව කලඹයි


ඉන්දියාවේ අගනුවර රෝහල් ඇඳන්වලින් ඉවත් කරන නව කොරෝනා රෝගීන්ගේ මළ සිරුරු තැන්පත් කිරීමට මෘත ශරීරාගාර ප්‍රමාණවත් නොවීමෙන්, ඒවා රෝහල් ලොබිවල ගොඩගැසී ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාවේ සාප්පු සංකීර්ණ සහ ආගමික සිද්ධස්ථාන යළි විවෘත කිරීම සඳහා සූදානමක් පැවතියත්, ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබුණේ, මෙවැනි ලිහිල් තත්ත්වයකට රට තවම සූදානම් නොමැති බවට අනතුරු අඟවමිනි.

ඉන්දියාවේ ඇතැම් ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයන් චෝදනා කරමින් පවසන්නේ, තම රෝගියා වෙනුවෙන් ඇඳක් ලබාගැනීමට ගියවිට රෝහල්වලින් තමන්ව එලවා ගන්නා බවටය. රෝහල්වල කොරිඩෝ දිගේ නොසලකිලිමත් ලෙස රෝගීන් ගොඩගසා ඇති බවටද චෝදනා පවතී. මෙවැනි වාතාවරණයක රෝහල් ලොබිවල මළ සිරුරුද ගොඩගසා තිබීම සෞඛ්‍ය තර්ජනය දෙගුණ තෙගුණ කරන්නක් බව ප්‍රාදේශීය මාධ්‍ය අනාවරණය කරයි.

මීට මාසයකට පෙර දිල්ලියේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පැවසුවේ නගරයේ රෝහල් වෛරසයට එරෙහිව සටන් කිරීමට හොඳින් සන්නද්ධව සිටින බවය. "දිල්ලිය දිනනවා. කොරෝනා පරදිනවා" ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට මාධ්‍ය කොතරම් උත්සාහ කළත් මහ ඇමතිවරයා, ඔහුගේ කාර්යාලය හෝ නගරයේ සෞඛ්‍ය බලධාරීන් පිළිතුරු සැපයීමට ඉදිරිපත් නොවෙයි.

මහ ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන කාලයේදී දිල්ලි නගරයේ නව කොරෝනා ආසාදිතයන් 10,000ක් පමණ සිටි අතර, මේ වනවිට එම අගය 41,000ක් ඉක්මවා තිබේ. ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මේ වනවිට 343,000ක් ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 10,000කට ආසන්නය. මේ ආකාරයෙන් ඉන්දියාව තුළ ආසාදිතයන් වැඩිවීමට දිල්ලි, මුම්බායි හා චෙන්නායි යන නගරවල ආසාදිතයන්ගේ වැඩිවීම ප්‍රබලව බලපා ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි හි සිකුරාදා සිට ජුනි මස අවසානය දක්වා මිලියන 15ක පමණ ජනතාවක් යළිත් අගුලු දැමීමකට ලක්වීමට නියමිතව සිටියි. තමිල්නාඩු ප්‍රාන්ත රජය පවසා සිටියේ, චෙන්නායි, තිරුවල්ලූර්, චෙන්ගල්පේට් සහ කාංචිපුරම් දිස්ත්‍රික්ක ජුනි මස 19දා සිට පූර්ණ අගුලු දැමීමකට ලක්වන බවය.

ඉන්දියාවේ අගනුවර ආසාදිතයන් මෙසේ ඉහළ යමින් තිබියදී, ජූලි මාසය අවසන් වනවිට COVID-19 ආසාදිතයන් දිලිලියෙන් පමණක් 550,000ක් වාර්තා විය හැකි බවට නව පුරෝකථන පවතී. එය වර්තමාන සංඛ්‍යාවට වඩා 13 ගුණයක් පමණ වන අතර, ඒ වනවිට තවත් ඇඳන් 150,000ක් දිල්ලියට පමණක් අවශ්‍ය වනු ඇති බව සඳහන් වේ.



Recommended Articles