රුසියාවේ හා යුක්රේනයේ යුද ශක්තිය සමකළ හැකිද?


දැඩි ලෙස සන්නද්ධ රුසියානු හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර දෙසට වේගයෙන් ඇදෙමින් පවතින පසුබිමක, දින කිහිපයකින් නගරයේ බලය රුසියාව අතට පත්වනු ඇති බවට බටහිර සෙසු බලවේග කණස්සල්ලට පත්ව සිටී.

මෙම ජාතීන් දෙකෙහි හමුදාමය හැකියාවන් කෙතරම් අසමතුලිතද යත්, යුක්රේනයේ ජනාධිපති වොල්ඩොමීර් සෙලෙන්ස්කි බලයෙන් පහ කිරීමට රුසියාව දරණ උත්සාහය හමුවේ සිය ශක්තිය පිළිබඳ තක්සේරුවක් ඇති යුක්රේන නායකයා රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට වඩා වැඩි යමක් කරන ලෙස සිය බටහිර සගයන්ගෙන් ඉල්ලා සිටියේය. නමුත් ඒ කිසිවෙකු තවමත් රුසියාවට දැනෙන යමක් කර ඇති බවක් පෙනෙන්නට නැත.

එවැනි පසුබිමක දෙරටේ යුද හැකියාවන් ගොඩනැගෙන ආකාරය සැකෙවින් අපි බලමු.

ආරක්ෂක වියදම්

මෙම රටවල් දෙක ආරක්‍ෂාව සඳහා වැය කරන මුදල් ප්‍රමාණය දෙස බැලීමෙන් පෙනී යන්නේ දෙරට අතර ඇති පරතරයයි. යුක්රේනය 2021 දී ඩොලර් බිලියන 4.7ක් වියදම් කළ අතර, පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ (IISS) "ආරක්ෂක ශේෂය" වාර්තාවට අනුව, න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ රුසියාවේ එම අගය ඩොලර් බිලියන 45.8කට වඩා වැඩිය.

රුසියානු ආණ්ඩුව 2008 දී එහි හමුදාව නවීකරණය කිරීමේ වැඩසටහනක් දියත් කළ අතර, ජෝර්ජියාව සමග කෙටි යුද්ධයකින් පසුව පැවති උපකරණ හිඟයන් වහා පිරවීය. යුක්රේනයේ ආයුධ තවමත් බොහෝ දුරට සෝවියට් යුගයේ සිට පැවත එන ඒවාය. කෙසේ වෙතත්, නේටෝවට සම්බන්ධ වීමේ අභිලාෂයන් තුළ, යුක්රේනය එහි සන්නද්ධ හමුදාවන්ගේ ව්‍යුහය ප්‍රතිසංවිධානය කර ඇති අතර, 2030 මැද භාගය වනවිට බටහිර සටන් ගුවන් යානා සමග සිය ගුවන් හමුදාව නැවත සන්නද්ධ කිරීමට සැලසුම් කර ඇත. එහි නාවික හැකියාවන් වැඩිදියුණු කිරීමටද සැලසුම් කර ඇත. එමෙන්ම මේ වනවිට ඔවුන් සතුව එක්සත් ජනපදයෙන් හා ඇතැම් බටහිර රටවලින් ලැබුණු අවි ආයුද පවතින බවටද රුසියාව පවසයි.

මිනිස් බලය

රුසියාවේ එහි සන්නද්ධ හමුදාවන්හි ක්‍රියාකාරී පුද්ගලයින් 900,000ක් සහ හදිසි අවස්ථාවක අමතර මිලියන 2ක් සිටින විට, යුක්රේනයේ 196,000ක් සහ හදිසි අවස්ථාවක අමතර 900,000ක් සිටියි. කෙසේ වෙතත් මෙම යුද පසුබිම හමුවේ යුක්රේනය බදාදා සිට වයස අවුරුදු 18-60 වයස්වල ආධුනික සෙබලුන් බඳවා ගැනීම ආරම්භ කළේය.

යුක්රේනයේ ගොඩබිම් හමුදාවන්හි 125,600කට වඩා 280,000ක සෙබළුන් සමගද ගොඩබිම් හමුදාවන්හි පමණක් රුසියාවට දෙගුණයක වාසියක් ඇත. තවද රුසියානු ගුවන් හමුදාව 165,00ක භට පිරිස් සිට යුක්රේනයේ සිටින 35,000ට වඩා පස් ගුණයකින් ඔවුන් ශක්තිමත් වේ. නමුත් රුසියාව සතුව මීට වඩා භට පිරිස් හා ඒ අවට රුසියානු හිතවාදී කණ්ඩායම්ද සමග බලය මීට වඩා වැඩි බවද කියැවේ.

"රුසියාවට යුධ කණ්ඩායම් 60ක් පමණ ඇතුළත් වෙනවා. තත්ත්වය වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර එම සංඛ්‍යාව වෙනස් විය හැකියි. නමුත් එය ඉතා විශාල වන අතර එය තීරණාත්මක වෙනවා. එය වසර ගණනාවකින් අප දුටු නැගෙනහිර යුරෝපයේ විශාලතම හමුදාමය ගොඩනැගීමක්." විදෙස් යුද විශ්ලේෂක මයිකල් පැවසීය.

"යුක්රේන අංක වඩාත් දුෂ්කර වන්නේ ඔවුන් සතුව ඇති සියල්ල දැන් යුද භූමියට කැඳවා, අමතර පිරිස්ද කැඳවමින් සිටින නිසයි." හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ආයුධ සහ වාහන

මෙහි සැසඳීමට බොහෝ දේ ඇත ප්‍රහාරක ගුවන් යානා, සන්නද්ධ වාහන, මිසයිල මෙන්ම සබ්මැරීන් ආදී වශයෙන් පොදුවේ ගත්විට, රුසියාවට සරලව මේ සෑම දෙයක්ම ඇත.

රුසියාව සතුව සන්නද්ධ සටන් වාහන 15,857කට වඩා ඇති නමුත්, යුක්රේනයේ ඇත්තේ 3,309ක් පමණි.

එමෙන්ම යුක්රේන ගුවන් යානා මෙන් 10 ගුණයකට යානා රුසියාව සතුය. එය 1,391 සිට යුක්රේනයේ 128 දක්වා පරතරයකි. යුක්රේනයේ 55 වූ හෙලිකොප්ටර්, රුසියාවේ 821කි. එමෙන්ම රුසියාවට සබ්මැරීන 49ක් ඇති අතර, යුක්රේනය සතුව එකදු සබ්මැරීනයක්වත් නැත.

"හමුදා දෙක අතර විශාල වෙනසක් තිබෙනවා. රුසියාව සතුව වඩා වැඩි හැකියාවක් ඇති ගුවන් බලයක් පවතිනවා. එහි ගුවන් ආරක්ෂාව ශක්තිමත්. සෑම මට්ටමකින්ම පවතින හෙලිකොප්ටර් සහ ගුවන් යානා වල විශාල වෙනසක් මේ රටවල් දෙක අතර පවතිනවා. ප්‍රවාහන ගුවන් යානා වල සිට ප්‍රහාරක ගුවන් යානා දක්වා හෙලිකොප්ටර් වලට පහර දීම දක්වා රුසියාව ඉදිරියෙන් සිටිනවා." හෙතෙම සඳහන් කළේය.

සටනට ඇති කැමැත්ත

කෙසේ වෙතත්, යුක්රේන හමුදා සාර්ථක ප්‍රතිප්‍රහාර කිහිපයක් දියත් කර ඇත. යුක්රේන හමුදා අතර සටන් කිරීමට ඇති දැඩි සටන් ආශාව සන්නද්ධ හමුදාවන්ගේ විශාලතම ශක්තිය බව යුද විශ්ලේෂක මයිකල් සඳහන් කළේය.

"ඇත්තටම මම දකින දෙයින් මට පුදුමයි. යුක්රේන ප්‍රහාරක ජෙට් යානා තවමත් පියාසර කරන බව ඇත්ත වශයෙන්ම ඒවා ගුවන් ගත වීමත් පුදුම සහගතයි." ඔහු පැවසීය.

එනමුදු රුසියාව ඉක්මනින් අගනුවර අල්ලා ගතහොත්, යුක්රේනයට ආපසු සටන් කිරීම දුෂ්කර වනු ඇත. එහෙත් එය අසාර්ථක වුවහොත් සටන දිග්ගැස්සෙන්නට පුළුවන. යුක්රේනයේ කැමැත්ත ප්‍රබල ආයුධයක් බව ඔප්පු කළ හැකි අවස්ථාව මෙය විය හැකිය.

යුද නවීකරණය

රට පුරා සටන් සිදුවෙමින් පවතින විට, අවි ගබඩාවල සංඛ්‍යාව සහ ගුණාත්මකභාවයද ප්‍රධාන සාධකයකි.

රෝයල් යුනයිටඩ් සර්විසස් ඉන්ස්ටිටියුට් හි භූමිය හා යුද ගැටුම් පිළිබඳ පර්යේෂණ විශ්ලේෂක නික් රෙනෝල්ඩ්ස් පැවසුවේ යුක්රේනයේ ගුවන් හමුදාව මේ වනවිට බොහෝදුරට දුර්වල එකක් බවය.

"2014 වසරේ සිට යුක්රේනයේ ආර්ථික ගැටලු හේතුවෙන් නවීකරණය සම්බන්ධයෙන් බරපතල ගැටළු ඇති වී තිබෙනවා. එබැවින් හමුදාවට නවීන ගුවන් ආරක්ෂක සහ කාලතුවක්කු, විශේෂයෙන් ප්‍රති-ප්‍රහාරක කාලතුවක්කු රේඩාර් සහ සතුරු කාලතුවක්කු හඳුනා ගැනීමට සහ අවම වශයෙන් එය මැඬපැවැත්වීමට වෙනත් නිරීක්ෂණ උපකරණ නැහැ." රෙනෝල්ඩ්ස් පැවසීය.

ඒ අනුව මෙම යුද්ධයේ තවමත් වැඩි වාසිය රුසියාව සතු බව අවිවාදිතය. එය කෙසේ තීරණය වනු ඇතිද යන්න තවමත් කීමට ඉක්මන් වැඩිය. කොවිඩ් යුද්ධයක නිරතව සිටි ලෝකය දැන් මිනිස් යුද්ධයකට මැදිවී ඇත. අවසානයේ මේ සෑම දෙයකින්ම බැට කන්නේ සාමාන්‍ය ජනතාවමය.



Recommended Articles