රුසියාවේ කොවිඩ්-19 පැතිරීම නරක අතට හැරෙනවා - පූටින්


රුසියාවේ කොවිඩ්-19 වෛරසය පැතිරීම නරක අතට හැරෙමින් පවතින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඊයේ (13දා) අනතුරු ඇඟවීය.

"සෑම දිනකම තත්ත්වය වෙනස් වෙමින් පවතින බව අපට පෙනෙනෙවා. බරපතල රෝගීන් සංඛ්‍යාව සමග රෝගී පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා" පුටින් සඳුදා රූපවාහිනී සාකච්ඡාවකදී නිලධාරීන්ට පැවසීය.

"අපට ගැටලු රැසක් පවතිනවා. පුරසාරම් දෙඩවීමට කිසිවක් නැහැ. අපගේ ආරක්‍ෂාව අපි අත් නොහැරිය යුතුයි. මක්නිසාද යත්, ඔබ සහ ඔබේ විශේෂඥයන් පවසන පරිදි, අපි තවමත් වසංගතයේ උච්චතම අවස්ථාව පසුකර නැහැ. මොස්කව්හි පවා පසුකර නැහැ" ඔහු තවදුරටත් පැවසීය.

රුසියාවේ නියෝජ්‍ය අගමැති ටැටියානා ගොලිකෝවා, සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ සහ මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සමග අදහස් දක්වමින් පූටින් අවධාරණය කළේ රුසියාවේ අනෙකුත් ප්‍රදේශවල වෛරස් පැතිරීම ආසන්න වශයෙන් සති තුනක් හෝ හතරක් වනවිට මොස්කව්ට පිටුපසින් ඇති බවට පුරෝකථනය කර ඇති බවයි. කාලය නාස්ති නොකරන ලෙස ඔහු ප්‍රාදේශීය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

"මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට තවමත් කාලය තිබෙන බවයි. නමුත් මේ කාලය ඉතා ඉක්මණින් අතුරුදන් විය හැකියි. එය නාස්ති නොවිය හැකි අතර වඩාත් ඵලදායී ලෙස භාවිත කළ යුතුයි" පුටින් ඉල්ලා සිටියේය.

"ඉදිරි සති කිහිපය බොහෝ දුරට තත්ත්වය තීරණය කරනු ඇති. මේ නිසා පැතිරීම වැළැක්වීමේ පියවර සහ සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියම ඇතුළුව අපගේ සියලු ක්‍රියා වඩාත් තාර්කික විය යුතු අතර සියලු සාධක නිසි පරිදි සැලකිල්ලට ගෙන වඩාත් ආරක්ෂිත පැත්තෙන් ගත යුතුයි." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව රුසියාවේ අවම වශයෙන් නව කොරෝනා වෛරස් රෝගීන් 18,328ක් තහවුරු වී ඇති අතර, අවම වශයෙන් මේ දක්වා මරණ 148ක් වාර්තා වී තිබේ.



Recommended Articles