රුසියාවට එරෙහි මූල්‍ය සම්බාධක පැනවීමට චීනය එක් නොවන බව එරට බැංකු හා රක්ෂණ නියාමකයා අවධාරණය කරයි.
චීනය මූල්‍ය සම්බාධකවලට, විශේෂයෙන්ම ඒකපාර්ශ්වික සම්බාධකවලට සහාය නොදක්වන බව චීන බැංකු හා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ග්වෝ ෂුකින්ග් එරට බීජිං හිදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
ඔහු පෙන්වා දෙන්නේ, ඒකපාර්ශ්වික සම්බාධක මගින් ගැටලු ඵලදායී ලෙස විසඳාගත නොහැකි බවත්, ඒවාට නීතිමය හේතු නොමැති බවත්ය.
"චීනයේ ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. අපගේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති ස්ථාවරයි" ඔහු පැවසීය.
චීනයට එරෙහිවද මෙවැනිම සම්බාධක පැනවීම් විටින් විට කළද, එකී සම්බාධක චීනයේ ආර්ථිකයට සහ මූල්‍යයට එතරම් බලපෑමක් කර නොමැති බවත් පෙන්වා දුන් ග්වෝ, චීනයේ ආර්ථිකය සහ මූල්‍ය තත්ත්වය ස්ථාවර බැවින් ඒවා එසේ නොවනු ඇතැයි ගණන් බලා ඇති බවද අවධාරණය කළේය.
කෙසේ වෙතත්, යුක්රේන අර්බුදය සාමකාමීව සමතයකට පත් කිරීම සඳහා සහාය වන සියලුම රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයන් සඳහා චීනයේ සහාය සහ දිරිමත් කිරීම ලැබෙන අතර, රුසියාව සහ යුක්රේනය විසින් සාමකාමී සාකච්ඡා දියත් කිරීම සාදරයෙන් පිළිගන්නා බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මීට පෙර පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී පැවසීය.
දෙපාර්ශ්වයේම නීත්‍යානුකූල ආරක්ෂක අවශ්‍යතාවලට ඉඩ සැලසෙන දේශපාලන විසඳුමක් සෙවීම සඳහා සංවාදය සහ සාකච්ඡා ක්‍රියාවලිය දිගටම කරගෙන යා හැකි බව චීනය බලාපොරොත්තු වන බව වැන්ග් පැවසීය.