රුසියාවට ගෑස් පෙන්වූ ඩොලරයට කණේ පාරක්


"මිත්‍රශීලී නොවන රටවලට" ගෑස් අපනයනය කිරීම සඳහා රුසියාව දැන් රුබල්වලින් පමණක් ගෙවීම් භාර ගන්නා බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සිය රජය සමග පැවති රැස්වීමකදී සඳහන් කර තිබේ.

ගෙවීම් පියවීම්වලදී රුසියාව සියලු "සම්මුතිවාදී" (ඩොලර්, යූරෝ ආදී) මුදල් අත්හැරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය. රුසියාවේ වත්කම් අත්හිටුවීමට බටහිර රටවල් ගණනාවක් ගත් නීත්‍යානුකූල නොවන තීරණ ඔවුන්ගේ මුදල් කෙරෙහි ඇති සියලු විශ්වාසය විනාශ කළ බව ඔහු පැවසීය.

"අපට මිත්‍රශීලී නොවන රටවලට සපයනු ලබන අපගේ ස්වාභාවික ගෑස් සඳහා ගෙවීම් වෙනස් කිරීමට පියවර මාලාවක් කෙටිම කාලය තුළ ක්‍රියාත්මක කිරීමට මා තීරණය කළා. ඔව් අපි මෙය ආරම්භ කරනවා. එනම් සම්මුතිවාදී මුදල් සියල්ල භාවිත කිරීම නවත්වනවා. ඒ වෙනුවට රුසියානු රුබලය ගනුදෙනු සඳහා මුදල් ඒකකය ලෙස යොදා ගන්නවා" රුසියානු ජනාධිපතිවරයා පැවසීය.

"යුරෝපා සංගමයට සහ එක්සත් ජනපදයට අපේ භාණ්ඩ ලබාදී ඩොලර් සහ යුරෝවලින් ගෙවීම් කිරීම තේරුමක් නැති ක්‍රියාවක්" ඔහු තවදුරටත් පැවසීය.

ඒ අනුව, රුසියානු ගෑස් ආනයනකරුවන් සඳහා දේශීය වෙළෙඳපොළෙන් රුබල් මිලදී ගැනීම සඳහා මෙහෙයුම් සඳහා ක්‍රියාපටිපාටිය තීරණය කිරීම සඳහා පූටින් එරට මහ බැංකුවට සහ රජයට සතියක් කාලයක් ලබා දුන්නේය.

කෙසේ වෙතත්, ගෙවීම් මුදල් ඒකකය පමණක් වෙනස් වුවත්, කොන්ත්‍රාත්තුවේ පරිමාවන් සහ මිලකරණ මූලධර්මවලට අනුකූලව රුසියාව ගෑස් සැපයීම අඛණ්ඩව සිදු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය මාසය තුළ රුසියාව යුක්රේනයේ ආරම්භ කළ හමුදා මෙහෙයුම සම්බන්ධයෙන් පෙර නොවූවිරූ ජාත්‍යන්තර සම්බාධක වට කිහිපයකින් රුසියාවට පහරදීම ආරම්භ කළේය. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඔවුන්ගේ හිතවත් රාජ්‍යයන් ඔවුන්ගේ මූල්‍ය පද්ධති, සීමිත ඩොලර් සහ යුරෝ ගනුදෙනුවලින් රුසියාව කපා හැර තිබුණි. එසේම අනෙකුත් ක්‍රියාමාර්ග අතර, විදේශයන්හි රුසියානු විදේශ විනිමය සංචිත දළ වශයෙන් ඩොලර් බිලියන 300ක් පමණ අත්හිටුවා තිබුණත්, ඔවුන් රුසියානු තෙල් හා ගෑස් මිලදී ගැනීම දිගටම කරගෙන ගොස් ඇත.



Recommended Articles