රුසියානු හමුදා ගිනිකොනදිග වරාය නගරයක් වන මරියුපෝල් හි බලය මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර, සති ගණනාවක් පුරා වැටුණු බෝම්බ හමුවේ නගරයේ බලය ගිලිහෙමින් පවතින බව එහි නගරාධිපතිවරයාද තහවුරු කර තිබේ.
නගරයේ ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත පදිංචිකරුවන්ට ඔවුන්ගේ නිවෙස්වලින් පිටවීමට සිදුවී ඇති අතර, මේ වනවිටත් ජනතාව ඉවත්කිරීමේ මාර්ගයන්ද රුසියානු හමුදා යටතට පත්ව ඇති බව නගරාධිපතිවරයා තවදුරටත් තහවුරු කළේය.
සජීව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී නගරාධිපති වඩිම් බොයිචෙන්කෝ පැවසුවේ, "සියල්ල අපගේ බලයේ නැහැ. අවාසනාවකට අද අපි ඉන්නේ ආක්රමණිකයන්ගේ අතේ." යනුවෙනි.
පෙබරවාරි 24දා රුසියාව යුක්රේනයේ හමුදා මෙහෙයුම් දියත් කිරීමට පෙර 400,000 කට අධික ජනතාවක් වාසය කළ මයුරිපෝල් හි ඉතිරි ජනතාවත් නගරයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස නගරාධිපතිවරයා ඉල්ලා සිටියේය.
"අපගේ ඇස්තමේන්තුවලට අනුව, වටලනු ලැබූ මරියුපෝල් නගරයේ අද 160,000ක් පමණ ජනතාවක් සිටින අතර, ජලය, විදුලිය, ආහාරපාන නොමැති වීම නිසා ඔවුන්ගේ ජීවිත ගැන අවදානමක් පවතිනවා." යැයි නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් රුසියාව පවසා තිබුණේ සියලු ජනතාව නිරුපද්‍රිතව ඉවත්කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බවය.