රුසියාව තුළ ෆේස්බුක් සම්පූර්ණ අවහිර කරයි


රුසියානු මාධ්‍ය නියාමක රොස්කොම්නැඩ්සර් විසින් Meta හි ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාවට රට තුළ තහනමක් පැනවීය. ෆේස්බුක් සමාජ ජාලය විසින් රුසියානු මාධ්‍ය ආයතන වෙත පිවිසීම අවහිර කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව රුසියානු නියාමකයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

"2020 ඔක්තෝබර් මාසයේ සිට, ෆේස්බුක් විසින් රුසියානු මාධ්‍ය සහ තොරතුරුවලට වෙනස් කොට සැලකීමේ සිද්ධීන් 26ක් අප නැවත නැවතත් නිරීක්ෂණය කර තිබෙනවා" ප්‍රකාශයෙහි සඳහන් විය.

"මෑත දිනවල, සමාජ ජාලයට Zvezda රූපවාහිනී නාලිකාව, RIA Novosti ප්‍රවෘත්ති ඒජන්සිය, Sputnik, Russia Today, Lenta.ru සහ Gazeta.ru ප්‍රවෘත්ති ආයතනවල ගිණුම් වෙත සීමිත ප්‍රවේශයක් පමණක් ලබාදී තිබුණා" එහි වැඩිදුරටත් සඳහන් විය.

Meta විසින් මෙම සතිය මුලදී EU හි RT සහ Sputnik ට අයත් ගිණුම් වෙත ප්‍රවේශය අවහිර කරන ලදී. පසුගිය සතිය පුරා, බටහිර පුද්ගලික අංශය සතු තාක්ෂණික දැවැන්තයින් මෙන්ම, බහුවිධ රාජ්‍ය ආයතන රුසියානු රාජ්‍ය අරමුදල් සහ රාජ්‍ය අනුබද්ධ වෙබ් අඩවි හා ගිණුම්වලට එරෙහිව විවිධ පියවර ගන්නා ආකාරය දැකිය හැකි විය.

වසර ගනනාවක් පුරා බටහිර රටවල නැවත නැවතත් ඉලක්ක කර ඇති රුසියානු රාජ්‍ය අනුබද්ධ මාධ්‍යයට එරෙහි මෙම අවහිරයන් පැමිණෙන්නේ පසුගිය සතියේ මොස්කව් විසින් දියත් කරන ලද යුක්රේන ප්‍රහාරයන් මධ්‍යයේය. 



Recommended Articles