රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භයේ සිට රුසියානු ප්‍රහාරක ජෙට් යානා වෙත පහර පිට පහර දෙමින් ඒවා බිම හෙළූ 'ගෝස්ට් ඔෆ් කිව් නමින් කුප්‍රකට ගුවන් නියමුවා යුද මෙහෙයුම් අතරතුරදී මරණයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත අනාවරණය කරයි.
පසුගිය පෙබරවාරි 24දා ඇරඹුණු මෙම යුක්රේන ආක්‍රමණය මේ වනවිට තෙවැනි මාසය දක්වා ක්‍රියාත්මක වන අතර, සටනේදී 'ගෝස්ට් ඔෆ් කිව්' අතින් රුසියානු ප්‍රහාරක ජෙට් යානා 40කට ආසන්න සංඛ්‍යාවක් බිම හෙළා ඇතැයි සඳහන් වෙයි. ගැටුම් ඇරඹුණු පළමු දිනයේදීම ඔහු අතින් රුසියානු ජෙට් යානා හයක් බිම හෙළා තිබේ.
මේ අතර එම පුවත්පතේ වාර්තාව මගින් එම 'ගෝස්ට් ඔෆ් කිව්ගේ' සැබෑ නාමය පිළිබඳව අනාවරණය කර තිබේ. ඒ අනුව ඔහු යුක්රේන ගුවන් හමුදාවේ මේජර් ස්ටෙපාන් ටරාබල්කා බව පැවසෙයි. පසුගිය මාර්තු 13දා රුසියානු ජෙට් යානා සමග ඇති වූ ගැටුමකදී ඔහු මෙලෙස මරණයට පත්ව තිබේ.
රුසියානු ආක්‍රමණයට එරෙහිව ක්‍රියාත්මක වූ 'ගෝස්ට් ඔෆ් කිව් මේ වනවිට එරට යුද වීරයෙකු බවටද පත්ව සිටියි. ඒ අනුව මේජර් ටරබල්කාගේ ඇස් ආවරණය සහ හිස් ආවරණය මේ වනවිට යුක්රේන හමුදාව සතුව පවතින අතර, ඒවා වෙන්දේසි කිරීමට නියමිතව ඇතැයිද පුවත්පත පවසයි.
මේජර් ටරබල්කා යුක්රේනයේ බටහිරට වන්නට පිහිටි කොරොල්විකා නම් කුඩා ගම්මානයක උපත ලැබූවෙකු වන අතර, කුඩා කල සිටම ඔහු ප්‍රහාරක ගුවන් නියමුවෙකු වීමට සිහින දුටු අයෙකු බවත් සඳහන් වෙයි. කෙසේ වෙතත් 'ගෝස්ට් ඔෆ් කිව්' ගේ මරණය පිළිබඳව මෙතෙක් පැහැදිලි සහ ස්වාධීන ස්ථිර කිරීමක් සිදුව නොමැත.