රුසියානු එන්නත තක්සේරු කිරීමට තොරතුරු නෑ - WHO


රුසියානු කොවිඩ්-19 එන්නත තක්සේරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බව එහි කලාපීය ශාඛාව වන පෑන් ඇමෙරිකානු සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජාර්බාස් බාබෝසා පවසයි.

අදාළ රුසියානු එන්නත බ්‍රසීලයේ නිෂ්පාදනය කිරීමේ සැලසුම් පිළිබඳව විමසූ විට බාබෝසා කියා සිටියේ එහි ආරක්ෂාව සහ ඵලදායීතාවය සහතික කිරීම සඳහා වූ දෙවැනි හා තුන්වැනි අත්හදා බැලීම් අවසන් වන තුරු එය නොකළ යුතු බවයි.

"ඕනෑම එන්නත් නිෂ්පාදකයෙකු මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතු අතර එය ආරක්ෂිත බව වඩ වඩාත් සහතික කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ එයයි." එබැවින් මෙම එන්නත තක්සේරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බව හෙතෙම අවධාරණය කරයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක තරික් ජසරෙවික් ජිනීවාහි මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඕනෑම එන්නතකට පූර්ව සුදුසුකම් ලැබීමට අවශ්‍ය සියලු ආරක්‍ෂිත හා කාර්යක්ෂමතා දත්ත දැඩි ලෙස සමාලෝචනය කිරීම සහ තක්සේරු කිරීම ඇතුළත් වන බවයි.

එහිදී ඕනෑම අපේක්ෂකයෙකුගේ එන්නතක් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කෙරෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතික ලබාදීමට දැඩි ආරක්ෂක දත්ත සමාලෝචනයක් අවශ්‍ය බව අවධාරණය කළේය.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ රුසියානු සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරමින් පවතින බවද ඔහු සිටියේය.



Recommended Articles