රැම්බෝගේ දෙවැනි බිරිඳ නීල්සන් වයස 54 දී පස් වැනි දරුවා ලබයි


ඩෙන්මාර්ක ජාතික ප්‍රකට රංගන ශිල්පිනියක වන බ්‍රිජට් නීල්සන් 54 වැනි වියෙහිදී සිය පස් වැනි දරුවා ප්‍රසූත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇය සහ 39 හැවිරිදි ඇගේ ඉතාලි ජාතික වත්මන් ස්වාමියා වූ මාටියා ඩේසි, ලොස් ඇන්ජලීස් නුවරදී සිදුවූ දරු ප්‍රසූතියෙන් පසුව අතිශය සතුටට පත්ව සිටින බවද කියැවෙයි.

ඇගේ දෙවැනි සැමියා වූ සිල්වෙස්ටර් ස්ටැලෝන් සමග රොකී ෆෝ සහ කෝබ්‍රා යන චිත්‍රපටවල රංගනයෙන් දායක වෙමින් වඩාත් ජනාදරයට පාත්‍ර වූ රංගන ශිල්පිනියක ලෙසද නීල්සන් සැලකෙයි.

එමෙන්ම, නිරූපිකාවක මෙන්ම, රියැලිටි රූපවාහිනී වෘත්තිකයෙකු ලෙසද ඇය වඩාත් කීර්තියක් උසුලන චරිතයක් බව කියැවෙයි.

"අපේ පුංචි දියණියව අපේ කැදැල්ලට ආදරයෙන් පිළිගන්නවා. එය අතිශය දීර්ඝ ගමනක මල්ඵල ගැන්වීමක්." යැයි මෙම යුවළ පීපල් සඟරාවට පවසා තිබුණි.

නීල්සන්ට මේ වනවිටත් වයස අවුරුදු 24 සිට 34 දක්වා වූ පුතුන් සිව්දෙනෙකු සිටින අතර, ඇගේ වැඩිමහලු පුතා ඇගේ වත්මන් සැමියාට වඩා වසර පහකට පමණක් ළාබාල අයෙකු වෙයි.

එමෙන්ම, අලුත උපන් බිළිඳා ඇගේ ප්‍රථම දියණිය වීමද විශේෂත්වයකි.



Recommended Articles