යුරෝපා සංගම් මීළඟ සභාපතිනිය සංගමයේ ඉහළම ධුර නම් කරලා


යුරෝපා කොමිසමේ මීළඟ සභාපති ධුරයට පත්වන උරුසුලා වොන් ඩර් ලේන් යුරෝපා සංගමයේ ඉහළම ධුර සඳහා වූ සිය තේරීම් නම් කර තිබේ.

කෙසේ වෙතත්, ඇයගේ තේරීමට බඳුන්වන මෙම පිරිස් දුෂ්කර අභියෝග කිහිපයකට මුහුණදෙන අතර, එක්සත් රාජධානය යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් 28න් ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හසුරුවාලීම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන ඉන් ප්‍රධාන තැනක් ගනී.

යුරෝපීය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබුවහොත්, වොන් ඩර් ලේන් මහත්මියගේ විධායක කණ්ඩායම යුරෝපා සංගම් ඉතිහාසයේ ස්ත්‍රී පුරුෂ සමානත්වය ඉහළින්ම ඇති කණ්ඩායම බවට පත්වනු ඇත. මන්දයත්, එය කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමින් 14 දෙනෙකුගෙන් සමන්විත බැවිනි.

කෙසේ වෙතත්, එලැඹෙන ඔක්තෝබර් 31 වැනි දිනට බ්‍රෙක්සිට් සැලසුම් කර ඇති බැවින් එක්සත් රාජධානියේ නාමයෝජනා ඉදිරිපත්ව නොමැත. ඒ අනුව, ඔවුන්ගේ පිටවීමේ දිනය නව කොමිෂන් සභාව බලයට පත්වීමට පෙර දින වීමද විශේෂත්වයකි.

බ්‍රසල්ස් පදනම් කරගෙන ක්‍රියාත්මක වන යුරෝපා කොමිසම, යුරෝපා සංගම් නීති සහ එම සන්ධානයේ ගිවිසුම් බලාත්මක කිරීමේ වගකීම දරයි. නීති කෙටුම්පත් කළ හැකි එකම යුරෝපා සංගම් ආයතනය වන්නේද යුරෝපා කොමිසමයි.

ජර්මනියේ හිටපු ආරක්ෂක ඇමති වොන් ඩර් ලේන් මහත්මිය නොවැම්බර් මස 01 වැනි දින කොමිෂන් සභාවේ සභාපති ජීන් ක්ලෝඩ් ජන්කර් වෙනුවට නිල වශයෙන් පත් කරනු ඇත.

ඒ අනුව, 27 දෙනෙකුගෙන් යුතු නව විධායක කණ්ඩායම - සෑම සාමාජික රටකටම එකක් ලෙස වසර පහක් සඳහා ක්‍රියාත්මක වීමේ සැලසුම් දියත් කරනු ඇත.



Recommended Articles