යුරෝපයේ රෝගීන් 100කට වැඩි සංඛ්‍යාවක් තහවුරු වී හෝ සැක කිරීමෙන් පසු බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ බහුලව දක්නට ලැබෙන වෛරස් ආසාදනයක් වන මන්කිපොක්ස් රෝගයේ මෑතකාලීන පැතිරීම ගැන සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි රැස්වීමක් කැඳවා ඇත.
යුරෝපයේ මෙතෙක් සිදු වූ විශාලතම පැතිරයාම ලෙස ජර්මනිය විස්තර කළ දෙයෙහි, අවම වශයෙන් රටවල් 5ක, එනම් මහා බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ජර්මනිය සහ ඉතාලිය මෙන්ම එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලද රෝගීන් දැන් තහවුරු වී ඇත. මීට අමතරව මේ වනවිට නෙදර්ලන්තයෙන්ද රෝගීන් තහවුරු වී ඇත.
වඳුරන් තුළ මුලින්ම හඳුනාගත් රෝගය සාමාන්‍යයෙන් සමීප සම්බන්ධතා හරහා පැතිරෙන අතර කලාතුරකින් අප්‍රිකාවෙන් පිටත පැතිරී ඇත. එබැවින් මෙම සිද්ධීන් මාලාව කනස්සල්ලට හේතු වී තිබේ.
කෙසේ වෙතත්, මෙම වෛරසය SARS-COV-2 තරම් පහසුවෙන් ව්‍යාප්ත නොවන බැවින්, එය කොවිඩ්-19 වැනි වසංගතයක් දක්වා පරිණාමය වනු ඇතැයි විද්‍යාඥයන් අපේක්ෂා නොකරයි.
මන්කිපොක්ස් සාමාන්‍යයෙන් මෘදු වෛරස් රෝගයක් වන අතර එය උණ රෝග ලක්ෂණ මෙන්ම සුවිශේෂී ගැටිති සහිත කැසීමක් රෝග ලක්ෂණ ලෙස පෙන්වයි.
1970 සිට අප්‍රිකානු රටවල් 11ක මන්කිපොක්ස් වාර්තා වී ඇත. 2017 සිට නයිජීරියාවේ විශාල පැතිරයාමක් සිදුවී තිබුණි. මේ වසරේ මේ දක්වා සැක සහිත රෝගීන් 46ක් වාර්තා වී ඇති අතර ඉන් 15ක් තහවුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පළමු යුරෝපීය ආසාදිතයා මැයි 7 වැනි දින නයිජීරියාවේ සිට එංගලන්තයට ආපසු පැමිණි පුද්ගලයෙකු තුළ තහවුරු විය. එතැන් සිට, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දත්ත එක්රැස් කිරීමකට අනුව, අප්‍රිකාවෙන් පිටත රෝගීන් 100කට වඩා තහවුරු වී ඇත.