යුරෝපයේ දැන් පැන්ඩමික් නොවේ ට්වින්ඩමික් ඇවිත්


ශීත සෘතුවේදී බලපාන ඉන්ෆ්ලුවෙන්සා උණ තත්ත්වය පසුගිය වසරේ එතරම් අවධානයට යොමු නොවුණත්, මෙම ශීත සෘතුවේදී උණ එන්නත්වල ඵලදායීතාව පිළිබඳ යම් සැකයන් මතුවීම මධ්‍යයේ කොවිඩ්-19 වසංගතය (පැන්ඩමික්) සමග ද්විත්ව වසංගතයක් (ට්වින්ඩමික්) පිළිබඳ කණස්සල්ල යුරෝපය තුළ ඇතිවී තිබේ.

යුරෝපා සංගම් සංඛ්‍යාලේඛනවලට අනුව, ගෝලීය වශයෙන් වසරකට 650,000ක් පමණ මිය යන ඉන්ෆ්ලුවෙන්සා වෛරස තත්ත්වය පසුගිය වසරේදී සම්පූර්ණයෙන්ම පාහේ පාලනය වීමට කොවිඩ්-19 නිසා එවකට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබූ ලොක්ඩවුන් කිරීම්, මුඛ ආවරණ පැලඳීම් සහ සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග හේතු විය.

කෙසේ වෙතත් මේ වනවිට යුරෝපා කලාපය තුළ කොවිඩ්-19 පූර්ණ එන්නත්කරණය සමග මෙම ලොක්ඩවුන්, මුඛ ආවරණ සහ සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම නිසා යළිත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය හිස ඔසවමින් ඇති බව කියයි.

ඒ අනුව 2021 දෙසැම්බර් මැද භාගයේ සිට, උණ වෛරස් යුරෝපයේ බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් සංසරණය වී ඇති බව, රෝග වැළැක්වීම සහ පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානය මේ මාසයේ වාර්තා කළේය.

දෙසැම්බර් මාසයේදී, යුරෝපීය දැඩි සත්කාර ඒකකවල (ICU) උණ රෝගීන් සංඛ්‍යාව වසරේ අවසාන සතියේ ක්‍රමිකව ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.



Recommended Articles