යුරෝපය පුරා මහා ගංවතුරක් - මරණ සහ අතුරුදන් රැසක්


දශක ගණනාවකින් පසුව ජර්මනිය, බෙල්ජියම ඇතුළු යුරෝපා රාජ්‍යයන් රැසකට බලපාන දැවැන්ත ගංවතුරක් හේතුවෙන් අද (16දා) වනවිට මියගිය සංඛ්‍යාව 126ක් ලෙස සටහන් වෙමින්, අතුරුදන්ව සිටින පිරිස ඊටත් වඩා වැඩිවීම නිසා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි යන බිය හටගෙන තිබේ.

ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග් යන රටවල ගංගාවන්ගේ වේලි පුපුරා යාමෙන් අඩ සියවසකට ආසන්න කාලයක් තුළ දරුණුතම ගංවතුර තත්ත්වය තීව්‍ර කර ඇත. මෑතදී ඇද හැලුණු අධික වර්ෂාවෙන් පසු ස්විට්සර්ලන්තයේ විල් සහ ගංගාද පිරී ඉතිරී ගොස් ඇති අතර ලුසර්න් විල පිටාර ගැලීමෙන් අද ලුසර්න් නගර මධ්‍යයේ ජලයෙන් යටවීමට පටන් ගත්තේය.

ජර්මනියේ උතුරු රයින්-වෙස්ට්ෆේලියා හි අර්ෆ්ට්ස්ටැඩ්-බ්ලෙසෙම්හි නායයෑමකින් මියගිය කිහිප දෙනෙකුද සමස්ත මරණ සංඛ්‍යාවට ඇතුළත් බව නිලධාරීහු පැවසූහ. ප්‍රාදේශීය සභාව විසින් මරණ තහවුරු කළ නමුත් බොහෝ දෙනෙකු අතුරුදන් වී ඇති හෙයින් තවමත් අවසන් සංඛ්‍යාවක් නොමැති බවද කියැවෙයි.

එමෙන්ම ජර්මනියේ රයින්ලන්ඩ්-පලටිනේට් හි අහ්වෙයිලර් දිස්ත්‍රික්කයේ අවම වශයෙන් පුද්ගලයින් 1,300ක් අතුරුදන්ව ඇති බව කියයි. ගංවතුර සමග දුරකථන කුලුණු කඩා වැටීම නිසා ප්‍රදේශයේ ජංගම දුරකථන ජාල අක්‍රීය වී ඇති අතර, මේ නිසා නිවැරදි දත්ත සපයා ගැනීම තවත් අපහසු වී ඇත.

දිවි ගලවා ගත් අය සෙවීම සහ තොරතුරු ලබාගැනීමේ මෙහෙයුම සඳහා ජර්මානු හමුදාව එම ප්‍රදේශයට යවා ඇත.

බෙල්ජියම් බලධාරීන් තහවුරු කළේ පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 20 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. අගමැති ඇලෙක්සැන්ඩර් ද කෘ ජූලි 20දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

නෙදර්ලන්තයේ කිසිදු ජීවිතයක් අහිමි වී නැතත්, වල්කන්බර්ග් නගරය ගංවතුරෙන් යටවී ඇති අතර, රටේ සෙසු ප්‍රදේශ සමග සම්බන්ධතා කපා දමා ඇත. තවත් සැලකිය යුතු පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

බෙල්ජියමේ ප්‍රංශ භාෂාව කතා කරන ගිනිකොන දෙසින් පිහිටි ලයිජ් නගරය ඇතුළුව ප්‍රදේශයේ ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස උපදෙස් දී තිබේ.

ලයිජ් ඇතුළු හානියට පත් ප්‍රදේශය හරහා දිවෙන මියුස් ගංගාවේ වේලි පුපුරා යන බවක් නොපෙනුනත්, නිම්නයේ මුදුනේ ඇති වේල්ලක් කැඩී යා හැකි බවට බලධාරීන් සැලකිලිමත් වී තිබේ.

අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයෙන් ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්-පලටිනේට් සහ උතුරු රයින්-වෙස්ට්ෆේලියා යන ප්‍රදේශ වඩාත් දරුණු ලෙස පීඩාවට පත්කර ඇත.



Recommended Articles