යුක්රේනයට ඩොලර් බිලියන 5ක කඩිනම් IMF ණය මුදලක්


යුක්රේනයට එහි ආර්ථිකය ක්‍රියාත්මක කර ගැනීම සඳහා මසකට ඩොලර් බිලියන 5ක මූල්‍ය ආධාර අවශ්‍ය වන අතර ඉදිරි මාස තුන තුළ එම හිඩැස පිරවීමට ක්‍රම සොයා ගැනීම කඩිනම් ප්‍රමුඛතාව විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.

වොෂිංටනය පදනම් කරගත් මූල්‍ය ආයතනය අනාගත ණය වැඩසටහනක් සඳහා දැනටමත් කටයුතු ආරම්භ කර ඇත. කෙසේ වෙතත් යුක්රේනය මේ මොහොතේ දීර්ඝ කාලීන ප්‍රතිසංස්කරණ පැකේජයක් ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කිරීම අසාධාරණ බවද ඇය සඳහන් කළාය.

රුසියාව සමග යුද්ධයක පැටලී සිටින යුක්රේනය මේ ගැටුම් හේතුවෙන්ම නිර්මාණය වී ඇති අයවැය හිඟය පියවා ගැනීම සඳහා G7 රාජ්‍යයන්ගෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් බිලියන 50ක මූල්‍ය ආධාරයක් ඉල්ලා තිබුණි.

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ ඉහළම ආර්ථික උපදේශක ඔලෙග් උස්ටෙන්කෝට අනුව, රට දැනට මසකට ඩොලර් බිලියන 7ක ඇස්තමේන්තුගත අයවැය හිඟයකට මුහුණ දී සිටියි.

රුසියාවේ යුක්රේන මෙහෙයුම ආරම්භයේ සිට IMF සහ ලෝක බැංකුව යුක්රේනයට ඩොලර් බිලියන 2කට වඩා වැඩි ණයක් අනුමත කර ඇත. මේ අතර, අත්‍යවශ්‍ය යුක්රේන රජයේ සේවාවන් දිගටම කරගෙන යාමට ඉඩ දීම සඳහා ඩොලර් බිලියන 1.5කට ආසන්න අමතර අරමුදල් සූදානම් කරමින් සිටින බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.



Recommended Articles