යුරෝපා සංගමයේ (EU) නායකයින් යුක්රේනය සහ මෝල්ඩෝවා සමූහයේ සාමාජිකත්වය සඳහා අපේක්ෂකයින් ලෙස පිළිගෙන ඇති බව යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් ප්රකාශ කළේය.
මෙම රටවල් ද්විත්වය විසින්ම යුරෝපා සංගමය වෙත තම රටවල් ඇතුළු කරගන්නා ලෙස නිල ඉල්ලීම් සිදුකරමින් අපේක්ෂකත්වය අයදුම් කර තිබුණි.
විශේෂයෙන්ම යුක්රේනය යුරෝපා සංගමය වෙත ඇතුළු වීම රුසියාවේ උදහසට හේතුවත් වනු ඇති බව කියවුණත්, මෑතකදී රුසියානු නායක ව්ලැදිමීර් පූටින් පවසා තිබුණේ ආර්ථිකමය වශයෙන් වන සන්ධානයකට යුක්රේනය ඇතුළු වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවය. කෙසේ වෙතත්, යුක්රේනය නේටෝව වැනි යුද සන්ධානයකට ඇතුළුවීමට උත්සාහ කිරීම වර්තමාන යුක්රේන-රුසියානු ගැටුමටද හේතු වී ඇත.