යුක්රේන - තුර්කි ජනපතිවරු සමග UN ප්‍රධානියා හමුවක


එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් බටහිර යුක්රේනයේ ලිවිව් නගරයේදී යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ තුර්කි ජනාධිපති රිසෙප් තයේප් එර්ඩොගාන් හමුවී ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.

ධාන්‍ය අපනයනය, න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව සහ යුක්රේනයේ ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

රැස්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී, යුක්රේන කළු මුහුදේ වරායන් තුනකින් නැව් ගමන් කිරීමට ඉඩ සලසන එක්සත් ජාතීන්ගේ තැරැව්කාර ගිවිසුමේ සාර්ථකත්වය නායකයින් ප්‍රශංසා කළ අතර, ගනුදෙනුව වැඩිදියුණු කිරීමට ක්‍රම සාකච්ඡා කළ බව පැවසීය.

මාසයකට අඩු කාලයකදී යුක්රේන වරායෙන් නැව් 21ක් පිටත්ව ගිය බවත්, ධාන්‍ය සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය පටවා ගැනීම සඳහා යාත්‍රා 15ක් ඉස්තාන්බුල් සිට යුක්රේනය බලා පිටත්ව ගිය බවත් ගුටරෙස් පැවසීය.

ගුටරෙස් පැවසුවේ ගිවිසුමට අත්සන් කළ අය ආහාර ගලා යාමට වෘත්තීයමය වශයෙන් සහ සද්භාවයෙන් කටයුතු කළ බවයි.

"යුක්රේනයෙන් සහ රුසියාවෙන් ආහාර සහ පොහොර විශාල ප්‍රමාණවලින් ලබා ගැනීම භාණ්ඩ වෙළෙඳපොළේ තවදුරටත් සන්සුන් කිරීමට සහ මිල අඩු කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා" ඔහු සඳහන් කළේය.

මේ අතර, Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව ගැන සඳහන් කරන විට ගුටරෙස් කියා සිටියේ රුසියාව විසින් පවත්වාගෙන යනු ලබන න්‍යෂ්ටික බලාගාරයෙන් හමුදා උපකරණ සහ පිරිස් ඉවත් කර ගත යුතු බවත්, එම ස්ථානය ආරක්ෂා කළ යුතු බවත්ය.

"මෙම පහසුකම කිසිදු මිලිටරි මෙහෙයුමක කොටසක් ලෙස භාවිත නොකළ යුතුයි. ඒ වෙනුවට, Zaporizhzhia හි තනිකරම සිවිල් යටිතල පහසුකම් නැවත ස්ථාපිත කිරීමට සහ ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීමට එකඟතාවයක් හදිසියේ අවශ්‍ය වෙනවා" ගුටරෙස් වැඩිදුරටත් පැවසීය.



Recommended Articles