මහා බ්‍රිතාන්‍යයේ සිට පාකිස්තානය වෙත යළි පැමිණි හිටපු අගමැති නවාස් ෂරීෆ් එරටට ගොඩබැසීමෙන් පසුව අත්අඩංගුවට පත්ව තිබේ.
ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විභාගවන නඩු සඳහා පෙනී සිටීමට තමන් යළි පාකිස්තානයට පැමිණෙන බව මීට පෙර ෂරීෆ් පවසා තිබුණි.
ඒ අනුව, ලාහෝර් ගුවන් තොටුපොළ වෙත පැමිණි ෂරීෆ් සහ ඔහුගේ දියණිය මේරියෑම් පාකිස්තානයේ ජාතික ගිණුම්කටයුතු අධිකාරියේ නිලධාරීන් හා පොලීසිය පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පසුව කුඩා ගුවන් යානයකින් යළි පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් වෙත ඔවුන් රැගෙන ගොස් බන්ධනාගාරගත කර ඇති බව එරටින් ලැබෙන අලුත්ම වාර්තා උපුටා දක්වයි.
තෙවරක් පාකිස්තානයේ අගමැති ධුරය හොබවා ඇති නවාස් ෂරීෆ් පසුගිය වසරේ සිය ධුරයෙන් ඉවත්වූයේ ඔහුට විරුද්ධව එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙනි.
පසුගිය සතියේදී එම චෝදනා යටතේ වූ නඩු විභාගයෙන් හිටපු අගමැතිවරයා වැරදිකරු බවට පත්වූ අතර, ඔහුට වසර 10ක සිර දඬුවමක් නියම විය.