තුර්කිය වෙත පළාගොස් සිටි ඇෆ්ගනිස්ථානයේ උප ජනාධිපති අබ්දුල් රෂීඩ් ඩොස්ටුම් යළි ඇෆ්ගනිස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු ඉලක්ක කරමින් කාබුල් ගුවන් තොටුපොළ අසලදී එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයේ ජෙනරාල් ඩොස්ටුම් වෙත කිසිදු හානියක් සිදුව නොතිබුණු අතර, ඔහු ගුවන් තොටුපොළෙන් පිටව බෝම්බය පිපිරුණු චතුරස්‍රය පසුකරනවාත් සමග මෙම ප්‍රහාරය එල්ල වී තිබුණි.
දේශපාලන විරුද්ධවාදීන් පැහැරගැනීම සහ එම කාන්තාවන් දූෂණය කිරීම යන චෝදනා ඩොස්ටුව්ට එරෙහිව නැගුනු අවස්ථාවේදී ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කළත්, මීට වසරකට පමණ පෙර තුර්කිය වෙත පළා ගියේය.
මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් භාරගෙන තිබේ.
මෙම ප්‍රහාරයෙන් මියගිය අය අතර ආරක්ෂක අංශ සාමාජිකයන් 9 දෙනෙකු සහ රථ වාහන පොලීසියේ නිලධාරියෙකු ද සිටිති.
එමෙන්ම, ප්‍රහාරයෙන් තවත් 60කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන අතර, ප්‍රහාරයෙන් එම පුවත් සේවයට අනුයුක්තව සේවය කළ රියදුරෙකු වූ අක්තාර් මොහොමඩ් ද ජීවිතක්ෂයට පත්ව තිබේ.