මෙල්බර්න්හි ආසාදන මෙන්ම ලොක්ඩවුන් විරෝධතාත් නගී


ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නරගය වන මෙල්බර්න් හි අගුලු දැමීමේ විරෝධතා හේතුවෙන් පොලීසිය දිගින් දිගටම විරෝධතාවලට එක්වන ජනයා අත්අඩංගුවට ගන්නා අතර, අවසන් වශයෙන් තවත් 200කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනුණු බව කියයි.

මෙම සතිය මුලදී සති දෙකක කාලයක් සියලු ඉදිකිරීම වසා දමන ලෙසට නියෝග කළ නිලධාරින් සහ වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා සේවකයින්ට එන්නත් ලබාදීම අනිවාර්යය කිරීමත් සමග මෙම විරෝධතා උත්සන්න විය.

නගර මධ්‍යයට රැස්වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ අතර, ගම්මිරිස් විදින සහ බැටන් ප්‍රහාර පවා භාවිත කරන ආකාරය දැකිය හැකි විය.

"වසංගතය හමුවේ කැපකිරීම් කළ ඔස්ට්‍රේලියානුවන්ට මෙය අගෞරවයක්. එම නින්දිත හැසිරීමේ නියැලී සිටි කවුරුත් ලැජ්ජාවට පත් වනු ඇතැයි මා සිතනවා" අගමැති ස්කොට් මොරිසන් වොෂිංටන් ඩීසී හිදී වාර්තාකරුවන්ට පැවසීය.

මෙසේ තවත් විරෝධතා සඳහා බලධාරීන් සැරසෙන විට, වික්ටෝරියා ප්‍රාන්තය විසින් දේශීයව අත්පත් කරගත් නව ආසාදන සිද්ධීන් මෙන්ම මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින බව කියයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සමස්ත ආසාදන මේ වනවිට 90,000ක් ඉක්මවා ඇති අතර ඉන් 60,000ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමග ඇති වූ ඒවාය. සමස්ත මරණ 1,200ට වඩා මදක් අඩුය.



Recommended Articles