මෙක්සිකෝ මැතිවරණයෙන් ලෝපේස් ඔබ්රාඩෝ ජයගනී


මෙක්සිකෝ මැතිවරණයෙන් වාමාංශික අපේක්ෂක ඇන්ඩ්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝ දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගනිමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

දූෂණයට වැට බඳින බවට ප්‍රතිඥා දෙමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ ඇන්ඩ්‍රේස්, මෙක්සිකෝ සිටි නගරයේ හිටපු නගරාධිපතිවරයාද වෙයි.

මෙක්සිකෝවේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ ප්‍රාදේශීය මැතිවරණය ඊයේ (01දා) පැවැත්විණි.

පූර්ව මැතිවරණ නිරීක්ෂණයන්ට අනුව ලෝපේස් 53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවද සඳහන් වෙයි.

මෙම ජයග්‍රහණයත් සමග ශතවර්ෂයකට ආසන්න කාලයක් මෙක්සිකෝව පාලනය කළ ප්‍රබලතම පක්ෂ දෙක පරාජයට පත්වීමද ඉතිහාසගත වන සිදුවීමක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පාලක පක්ෂයෙන් තරගයට ඉදිරිපත් වූ ජෝස් අන්තෝනියෝ තෙවැනි ස්ථානය ලබා ඇති අතර, සෙසු තරගකරුවා වූ රිකාඩෝ අනායා දෙවැනි ස්ථානයට පත්ව සිටී.

මේ අතර, මෙක්සිකෝවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වන ලෝපේස් ඔබ්රොඩෝ වෙත ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුභාශිංසන එක්කර තිබේ.

දශක කිහිපයකට පසුව මෙක්සිකෝව තුළ සිදුවන දරුණුතම පූර්ව ප්‍රචණ්ඩක්‍රියා ඉස්මතු වූ මැතිවරණයක් ලෙසද මෙවර මැතිවරණය සැලකෙයි.



Recommended Articles