ඉන්දියාවට ඇද හැළෙන ධාරාණිපාත මෝසම් වැසි හේතුවෙන් එරට මූල්‍ය අගනගරය ලෙස සැලකෙන මුම්බායි නුවර දුම්රිය මාර්ග පද්ධතියක් මතට පාලමක් කඩා වැටී තිබේ.
නගරයේ බටහිර දුම්රිය පද්ධතියේ අතිශය කාර්යබහුලම දුම්රිය මර්ග පද්ධතිය පිහිටි අන්දේරි දුම්රිය ස්ථානය අසල පාලමක කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර, ඉන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
මේ තත්ත්වයත් සමග බටහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය අඩකින් පමණ තාවකාලිකව නවතා දැමීමට බලධාරීන්ට සිදුව ඇති නිසා බොහෝ ජනතාවක් මෙම දුම්රිය ස්ථානයේ රැඳී සිටින බවද කියයි.
එමෙන්ම, දුම්රිය ධාවනය අඩපණවීමෙන් බස් රථ සහ අමතර වාහන මාර්ගයට පැමිණීම නිසා අධික රථ වාහන තදබදයක්ද නගරය පුරා ඇතිව තිබේ.
එහිදී, පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවීමටද සිදුව ඇති අතර, දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් කඩිනමින් කටයුතු කරන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.