මුඛ ආවරණවලට ආපහු යන්න - WHO ඉල්ලා සිටී


කොවිඩ්-19 රෝගීන් ගෝලීය වශයෙන් ඉහළ යාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මුඛ ආවරණ පැලඳීම, හොඳින් වාතාශ්‍රය ලැබෙන තැන්වල ගැවසීම සහ සමාජ දුරස්ථභාවය නැවත පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.

සතිපතා පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ටෙඩ්‍රොස් ප්‍රකාශ කළේ, "වෛරසය නිදහසේ ක්‍රියාත්මක වෙනවා. රටවල් රෝගය ඵලදායී ලෙස කළමනාකරණය නොකරන බව පෙනෙනවා." යනුවෙනි.

වෛරසය 'ජාත්‍යන්තර සැලකිල්ලේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්' ලෙස පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ නිගමනය කිරීමත් සමග ටෙඩ්‍රොස් ප්‍රකාශ කළේ වසංගතය කොතැනකවත් අවසානයක් කරා ළඟාවී නොමැති බවයි.

2022 ජූලි 4-10 සතිය තුළ කොවිඩ්-19 නව රෝගීන් මිලියන 5.7කට වඩා වාර්තා වූ අතර, එය පෙර සතියට සාපේක්ෂව 6%ක වැඩිවීමකි. කෙසේ වෙතත්, මෙම ගිම්හානය පුරාවටම මරණ සාපේක්ෂ වශයෙන් පහළ අගයක පවතී. 



Recommended Articles