මුඛ ආවරණයක් පැලැන්ඳාට නාසය ආවරණය වී නැද්ද?


නව කොරෝනා වසංගතයෙන් බේරීමට ඔබ මුඛ ආවරණයක් පැලඳ සිටියද, ඉන් ඔබේ නාසය හරිහැටි ආවරණය වී නොමැති නම් තත්ත්වය වඩාත් බරපතළ බවත්, උගුර හා පෙනහලු වෙත ආසාදනය වීමට පෙර නාස්පුඩු හරහා ඉතා පහසුවෙන් වෛරසය ආසාදනය වන බවත් විද්‍යාඥයෝ අනතුරු අඟවති.

ඔවුන් පෙන්වා දෙන්නේ, දින හතරක් තුළ නාසයේ වෛරස පිටපත් මිලියන 10ක් සෑදීමට නව කොරෝනා වෛරසයට හැකි බැවින්, ඔබේ මුඛය හා නාසය යන දෙකම ඉතා හොඳින් ආවරණය වන පරිදි මුඛ ආවරණයක් පැළඳීම කොරෝනා වෛරසයෙන් ඔබව (සහ අන් අය) ආරක්ෂා කරගැනීමට ඉතා වැදගත් සෞඛ්‍යාරක්ෂණ පියවරක් බවයි.

රෝහල් දැඩි සත්කාර ඒකක තුළ සිටින කොරෝනා රෝගීන්ගේ පෙනහලු වෙත විනාශකාරී බලපෑමක් කිරීමට පෙර මෙම වෛරසය සාමාන්‍යයෙන් නාසයේ ඇතුළත පටක තුළට ගොස් එහි සිට ශ්වසන මාර්ග‍ය හරහා පහළට ගමන් කරන බව උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඒ අනුව නාසය කොරෝනා වෛරසයේ පළමු ඉලක්කය සහ හොඳම අභිජනන භූමිය බවට ප්‍රබල සාක්ෂි සහිතව පෙන්වා දෙන විද්‍යාඥයන්, මුඛ ආවරණයක් පැලඳීම ප්‍රධාන බවත්, එමගින් වෛරසය පෙනහළු දක්වා ගමන් කර ජීවිත තර්ජනය ඇති කරන නිව්මෝනියා තත්ත්වයන් වළක්වා ගතහැකි බවත් සඳහන් කරයි.

අධ්‍යයනවලින් හෙළිවී ඇති පරිදි ස්ථර තුනකින් යුතු මුඛ ආවරණයක් (වෙළෙඳ පොළෙන් මිලදී ගත් එකක් හෝ නිසි සෞඛ්‍යාරක්ෂාව ලැබෙන පරිදි ගෙදරදී මසාගත් එකක්) නිසි පරිදි පැලඳීමෙන් නව කොරෝනා වෛරසය (COVID-19) සම්ප්‍රේෂණය 80%කින් අඩු කරගත හැකිය.

නමුත් බොහෝ අවස්ථාවලදී වීදිවල ගමන් කරන අය මුඛ ආවරණයක් නොමැතිව හෝ නැත්නම් මුඛ ආවරණයක් පැලඳ සිටියත් නාසය විවෘත වන ලෙස එය පහළට ඇද දමා සමාජයේ හැසිරෙන ආකාරය සුලභ කරුණක් බව විද්‍යාඥයෝ පවසති. ඔවුන් අවධාරණය කරන්නේ, මෙම පිරිස් නව කොරෝනා වෛරසයේ මාරාන්තික අවදානම හරිහැටි අවබෝධ කර ගතහොත් එවැනි නොසැලකිලිමත් බවක් කිසිසේත්ම නොගනු ඇති බවයි.



Recommended Articles