මුඛ ආවරණයක් පැළඳීමෙන් දස දහස් සංඛ්‍යාත පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
මෙම පර්යේෂණයට අනුව එක්සත් ජනපදයේ වෛරසය පැතිරයාමේ කේන්ද්‍රස්ථානය වූ නිව්යෝක් නගරයේ පමණක් සති තුනක් වැනි කෙටි කාලයක් තුළ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 66,000කින් අඩුකර ගැනීමට මුඛ ආවරණ පැළඳීම නිසා හැකිවී තිබේ. එසේම මීට පෙර යුරෝපය තුළ වසංගතයේ කේන්ද්‍රස්ථානය වූ උතුරු ඉතාලියේ මාසයක් තුළ ආසාදිතයන් සංඛ්‍යාව 80,000කට ආසන්න ප්‍රමාණයකින් අඩුවී තිබේ.
වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මුඛ ආවරණ පැළඳීම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමේ නියෝගවලට වඩා වැදගත් බව පර්යේෂකයෝ පවසති. නව කොරෝනා වෛරසය මිනිසුන් කතා කරනවිට හෝ කැස්ස ඇතිවූ විට ආසාදිත ජල බිඳිති වාතයට විසිරී යාමෙන් බහුලව පැතිරෙන වෛරසයක් වීම මීට හේතුව යැයි ඔවුහු පවසති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ඇකඩමිය විසින් ප්‍රකාශයට පත් කරනලද මෙම අධ්‍යයනයේදී චීනය, ඉතාලිය සහ නිව්යෝක් නගරය වෛරසය පැතිරිමේ ප්‍රවණතා සහ අවම කිරීමේ ක්‍රියාපටිපාටි පිළිබඳව සොයා බැලීමක් සිදුකර ඇත.
පසුගිය අප්‍රේල් මස 06දා උතුරු ඉතාලියේ සහ අප්‍රේල් 17දා නිව්යෝක් නගරයේ මුඛ ආවරණ පැළඳීමේ නීති ක්‍රියාත්මක කළ විට ආසාදන ප්‍රවණතාවයේ විශාල වෙනස්කමක් සිදුව ඇත. වෛරසය පැතිරගිය මුල් අවධියේදී දැඩි පීඩාවකට ලක්ව තිබූ උතුරු ඉතාලියේ අප්‍රේල් 06දා සිට මැයි 09දා දක්වා ආරක්ෂිත පියවර මගින් (විශේෂයෙන් මුඛ ආවරණ පැළඳීම නිසා) ආසාදිතයන් සංඛ්‍යාව 78,000කට වඩා සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට හැකිවී තිබේ.
එසේම නිව්යෝක් නගරයේ එම සංඛ්‍යාව අප්‍රේල් 17දා සිට මැයි 09දා දක්වා 66,000ක් පමණ අඩුවීමකි. මීට අමතරව, මුඛ ආවරණ පැළඳීම නිව්යෝක් නගරයේ බලාත්මක කිරීමත් සමග දිනකට ආසාදන අනුපාතය 3%කින් පමණ පහත වැටුණු බව එම අධ්‍යයනය පෙන්වා දෙයි. කෙසේ වෙතත් මුඛ ආවරණ පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වූ රටේ සෙසු ප්‍රාන්තවල නව ආසාදන අඛණ්ඩව ඉහළ ගොස් තිබුණි.
ඉතාලියේ සහ නිව්යෝක් නගරයේ මුඛ ආවරණ පැළඳීමේ නීති ක්‍රියාත්මක වීමට පෙර සමාජ දුරස්ථභාවය, නිරෝධායනය සහ හුදකලාව මෙන්ම අත්සේදීමේ සනීපාරක්ෂක ක්‍රියා වැනි සෘජු සම්බන්ධතා පූර්වෝපායන් ක්‍රියාත්මක විය. එම පූර්වෝපායන් සෘජුවම සම්බන්ධ වීමෙන් වෛරසය සම්ප්‍රේෂණය අවම කිරීමට පමණක් උපකාරී වන නමුත්, මුඛ ආවරණ මගින් වාතය හරහා සම්ප්‍රේෂණය වීම වළක්වා ගත හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
ඒ අනුව කොවිඩ්-19 වසංගතය නැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති අවස්ථාව මෙය විය හැකි බව එම අධ්‍යයනය අවධාරණය කරයි. වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මුඛ ආවරණයක් පැළඳීම අත්‍යවශ්‍ය බව ජනතාව විසින්ම ඒත්තු ගෙන, මෙය වසංගතය ජයගැනීමට තමාගෙන් සමාජයට ඉටුවිය යුතු සමාජ වගකීමක් ලෙස සලකා නිවසින් බැහරට යනවිට මුඛ ආවරණයක් පැලඳීමට කටයුතු කළහොත් සමාජ දුරස්ථභාවය හා වෙනත් ක්‍රියා පටිපාටිවලට සමගාමීව වෛරසය පාලනයට විශාල කාර්යභාරයක් මුඛ ආවරණය හරහා සිදුවනු ඇති බව එම අධ්‍යයනය මගින් පෙන්වා දෙයි.
ලොව පුරා කොවිඩ්-19 වසංගතය පාලනය අපොහොසත් වීමට බොහෝදුරට හේතු වී ඇත්තේ වාතය හරහා වෛරසය සම්ප්‍රේෂණයෙහි වැදගත්කම හඳුනා නොගැනීම බව පවසන එම පර්යේෂකයන්, සමාජ දුරස්ථභාවය මෙන්ම අත්සේදීම වැනි සනීපාරක්ෂක ක්‍රියා දිගටම සිදුකළත් වසංගත අවදානම අඩුකර ගැනීමට එය ප්‍රමාණවත් නොවන බව අවධාරණය කරයි. ඒ නිසා නිවසින් බැරයට යනවිට නිසි සෞඛ්‍යාරක්ෂාව සැලසෙන ස්ථර තුනකින් යුතු වඩාත් යෝග්‍ය මුඛ ආවරණයක් නිරන්තරයෙන් පැළඳ සිටින ගමන්ම, අත් සේදීමේ සනීපාරක්ෂාව මෙන්ම සමාජ දුරස්ථභාවය පිළිපැදීම තුළින් කොවිඩ්-19 වෛරසය වැළඳීමේ අවදානම බෙහෙවින් අඩු කරගත හැකි බව එම අධ්‍යයනය මගින් වැඩිදුරටත් අවධාරණය කෙරෙයි.