මුඛ ආවරණ පැලඳුවහොත් වසංගතය සති කිහිපයකින් පාලනය කරගන්න පුළුවන්


සියලුම ඇමෙරිකානුවන් මුඛ ආවරණයක් පැලඳීමට යොමුවන්නේ නම්, ඉහළ යන කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව සති 4ක් හෝ 8ක් තුළ පාලනය කළ හැකි බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් අවධාරණය කරයි.

ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලය සමඟ මාර්ගගත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රෙඩ්ෆීල්ඩ් පැවසුවේ "මුඛ ආවරණයක් පැලඳීමට සෑම කෙනෙකුටම මේ මොහොතේම යොමුවිය හැකි නම් සති හතරක්, හයක්, අටක් ඇතුළත අපට මෙය පාලනය කර ගත හැකියි.”

CDC ප්‍රධානියා කියා සිටියේ මුඛ ආවරණයක් පැලඳීම මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූවක් බවත්, එය මෙතරම් දේශපාලනීකරණය වීම ගැන තමා කනගාටුවට පත්වන බවත්ය. විශේෂයෙන් ඇමෙරිකානු නායකයා මුල සිටම මුඛ ආවරණ පැලඳීම ප්‍රතික්ෂේප කිරීම හා ඔහු අනුගමනය කරමින් ඔහුගේ පාක්ෂිකයන්ද මුඛ ආවරණ ප්‍රතික්ෂේප කිරීම ඊට හේතු විය.

මේ අතර පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව ඊයේ (14දා) පැවති සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පැවසුවේ පාසල් යළි විවෘත කිරීමේ යතුර වන්නේද මුඛ ආවරණය බවයි. දත්තවලට අනුව එය සැබවින්ම පැහැදිලි බවත්, ඒවා ඵලදායී බවත් හෙතෙම සඳහන් කළේය.

පාසල් නැවත විවෘත කිරීම ගැන බැලුවොත්, මට නම් ඒ සඳහා යතුර මුඛ ආවරණයයි. ඔබ එය සැබවින්ම බැලුවහොත්, දත්ත සැබවින්ම පැහැදිලියි. ඒවා ඵලදායී බව පැහැදිලියි." රෙඩ්ෆීල්ඩ් පැවසීය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය ගෙවීගිය අඟහරුවාදා දිනයේදී ආසාදිතයන් 61,248ක් වාර්තා කර ඇති අතර, එදින මරණ සංඛ්‍යාව 827කි. එමෙන්ම ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (15දා) උදෑසන වනවිට 3,428,553ක් බවට පත්වූ අතර, වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 136,430ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles