මාධ්‍යවේදීන් කොවිඩ්-19 වෛරසය වෙත නිරාවරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහිව බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව බ්‍රසීල පුවත්පත් සංගමය පවසා තිබේ.
බොල්සොනාරෝ වාර්තාකරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ දුරස්ථභාවයට ගරු නොකරන බවට චෝදනා කළ එම සංගමය, අඟහරුවාදා බ්‍රසීලියා අගනුවර ජනාධිපති මන්දිරයේ පැවති රූපවාහිනී මාධ්‍ය හමුවකදී ඔහුගේ මුඛ ආවරණය ගලවා දමමින්, තමා කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළේ යැයි ප්‍රකාශ කළ බවද සඳහන් කරයි.
බොල්සොනාරෝ පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බවට චෝදනා කළ එම සංගමය, වගකීම් විරහිතව හා මහජන සෞඛ්‍යයට එරෙහි පැහැදිලි අපරාධ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමකින් තොරව අඛණ්ඩව හැසිරීම තවදුරටත් රටට බලා සිටිය නොහැකි යැයි එම සංගමයේ සභාපති පාවුලෝ ජෙරොනිමෝ ද සූසා පැවසීය.
සීඑන්එන් බ්‍රසීල්, ටීවී රෙකෝඩ් සහ ටීවී බ්‍රසීල් යන රූපවාහිනී මධ්‍යස්ථාන තුනක් මාධ්‍ය හමුවට පැමිණ සිටි අතර, බොහෝ මාධ්‍යවේදීන් මේ වනවිටත් ස්වයං හුදකලාවට ලක්කර ඔවුන් කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට භාජනය කිරීමටද නියමිත බව බ්‍රසීලයෙන් වාර්තා වෙයි.
බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 17ක් ඉක්මවා, මරණ 68,000කට ආසන්න අගයක් ගෙන තිබෙන පරිසරයක මුල සිටම වෛරසය පුංචි උණක් ලෙස සැලකූ බ්‍රසීල ජනාධිපතිවරයා තමාට වෛරසය වැලඳී තිබියදීත් වගකීමෙන් තොරව එරට ජනතාව බිල්ලට දෙමින් සිටින බවට මේ වනවිට දැඩි විවේචනයට ලක්වෙමින් සිටියි.