මුඛ ආවරණ නීති ලිහිල් කළ නිසා ඇමෙරිකාව අවදානමක


කොවිඩ්-19 වෛරසයේ, ඔමික්‍රොන් උප ප්‍රභේදය BA.2 එක්සත් ජනපදයේ ප්‍රමුඛතම ප්‍රභේදය ලෙස පවතින අතරම, නව උප ප්‍රභේදයක් රට තුළ එහි අඩිතාලම ලබා ගනිමින් සිටින බව එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවල නවතම දත්ත (CDC) අනාවරණය කරයි.

CDC විසින් අඟහරුවාදා නිකුත් කරන ලද දත්තවලට අනුව, BA.2.12.1 ලෙස හැඳින්වෙන නව ප්‍රභේදය, රට තුළ සිටින නව ආසාදිතයන්ගෙන් පහෙන් එකක් පමණ වේ.

එම දත්ත සතියකට පෙර 11.4%ක ප්‍රතිශතයක සිට වැඩි වූ අතර සති දෙකකට පෙර 6.9%කින් වැඩි වී ඇති බව CDC දත්ත පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගීන්ගෙන් බහුතරයක්, එනම් 75%ක් පමණ තවමත් BA.2 ප්‍රභේදය ආසාදිතයන් වන අතර, එය මාර්තු අග සිට රටේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වී ඇත.

නමුත් BA.2.12.1 ප්‍රභේදය තවත් උප ප්‍රභේදයක් වූ BA.2.12 සමග එකතුව නිව්යෝක් ප්‍රාන්තයේ කොවිඩ්-19 රෝගීන්ගේ මෑත කාලීන වැඩිවීමට දායක වූ බව රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රභේද දෙකම BA.2 හි උප පරම්පරාවන් වන අතර, එය දැන් නිව්යෝක් හි කොවිඩ්-19 ආසාදනවලින් 80.6%ක් වේ. එමෙන්ම, මෙහි සැලකිය යුතු කාරණය වන්නේ මෙම උප ප්‍රභේදයන් මුල් BA.2 ප්‍රභේදයට වඩා 23% සිට 27%ක් දක්වා වර්ධන වන බවවට ඇස්තමේන්තු කර ඇති බව නිව්යෝක් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එක්සත් ජනපදය දැන් දිනකට නව ආසාදන 35,000ක් පමණ වන අතර, එය පෙර සතියට වඩා 19%කින් සහ සති දෙකකට පෙර 42%කින් ඉහළ ගොස් ඇති බව CDC දත්ත පෙන්වා දෙයි.

මේ අතර, දෛනිකව රට පුරා නව මරණ 370ක් සහ නව රෝහල්ගතවීම් 1,400ක් පමණ වාර්තා විය.

සෞඛ්‍ය විශේෂඥයන් පැවසුවේ නිවස් ආශ්‍රිත පරීක්ෂණ ඉහළ යාමත් සමඟ නව කොවිඩ්-19 රෝගීන් වැඩි වශයෙන් ගණන් ගන්නා බවයි.

කොවිඩ්-19 ආසාදන වැඩිවීම වැළැක්වීම සඳහා CDC විසින් ගුවන් යානා, දුම්රිය, බස් සහ වෙනත් පොදු ප්‍රවාහනය සඳහා මුඛ ආවරණ අවශ්‍යතාව දීර්ඝ කිරීමෙන් සතියකට අඩු කාලයකට පසු, ෆ්ලොරිඩාවේ ෆෙඩරල් විනිසුරුවරයා සඳුදා එම අවශ්‍යතාව ඉවත් කළේය.

ෆෙඩරල් විනිසුරුවරයාගේ මෙම තීරණයත් සමග ඇමෙරිකානු ගුවන් සමාගම් කිහිපයක් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ඔවුන්ගේ මුඛ ආවරණ නීතිය අතහැර දමා ඇත.

මේ මොහොතේ මුඛ ආවරණ අවශ්‍යතාව ආපස්සට හැරවීම ඉතා අවදානම් තත්ත්වයක් බව බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ සහ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය සස්කියා පොපෙස්කු නිව්යෝක් ටයිම්ස් වෙත පැවසීය.

"අපි අනිවාර්යයෙන්ම ආසාදිතයන්ගේ ඉහළ යෑමේ ප්‍රවණතාවක් දැකීමට පටන් ගෙන තිබෙනවා" ඇය පැවසුවාය. "මගේ කනස්සල්ල නම්, මේ ආකාරයෙන් සීමාවන් ඉවත් කර සැලකිය යුතු නැගීමක් දුටු එක්සත් රාජධානියේ සිදු වූ දේ අපට (එක්සත් ජනපදයටද) දැකගැනීමට හැකිවීමයි. මෙය (මුඛ ආවරණ ඉවත් කිරීම) ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමට විශාල ලෙස දායක වනු ඇති." මහාචාර්යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.



Recommended Articles