මිෂෙල් ඔබාමාගේ අලුත්ම පොතට ඉහළ ඉල්ලුමක්


ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ආර්යා මිෂෙල් ඔබාමා සිය මතකාවර්ජනයක් ලෙස රචනා කළ Becoming නම් වූ ග්‍රන්ථය වෙත මේ වනවිට ඉහළ ඉල්ලුමක් ඇතිවෙමින් තිබේ.

නොවැම්බර් 13 වැනිදා මුල් වරට නිකුත් වූ මෙම කෘතිය ලබාගැනීම සඳහා බොහෝදෙනා උනන්දු වූ අතර, පළමු සතියක කාලයක් ඇතුළතදී  එහි ඩිජිටල් පිටපත් පමණක් ලක්ෂ 14කට අධික ප්‍රමාණයක් එක්සත් ජනපදය සහ කැනඩාව පුරා අලෙවි වී තිබේ.

ඇමෙරිකාවේ ක්‍රවුන් පබ්ලිෂිං සමාගමේ ප්‍රකාශනයක් ලෙස එළිදකින Becoming කෘතිය, උතුරු ඇමෙරිකානු කලාපය වෙනුවෙන් පිටපත් ලක්ෂ 30ක් නිකුත් කර ඇත. ඉන් 725,000ක් පළමු වැනි දිනයේදීම අලෙවි විය. එය මේ වසරේ පළමු දිනය තුළ වාර්තා තැබූ පොත වීමද විශේෂත්වයකි.

එක්සත් ජනපදයට අමතරව, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්දය, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය සහ ෆින්ලන්තය යන රාජ්‍යයන් තුළද වැඩිහිටියන් සඳහා ලියැවුණු ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ අතරින් මුල් තැනට මෙම පොත පත්ව ඇත.

මිෂෙල් චිකාගෝ නුවර සිට වොෂිංටන් නුවර ධවල මන්දිරය දක්වා ආ ගමනේ මතකයන් යළිත් ආවර්ජනය කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

මෙහිදී ඇගේ ග්‍රන්ථය පිළිබඳව සඳහන් කරන වොෂිංටන් පෝස්ට් පුවත්පත, මිෂෙල් ඔබාමා සිය වාසනාවන්ත ජීවිතයේ ඇති වූ අභියෝග පිළිබඳව වඩාත් සමතුලිතව මෙන්ම සත්‍යවාදී ලෙස කරුණු ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරන්නේ මෙම පොත සම්බන්ධයෙන් පාඨක රචිය තවත් නංවමින් වීමද විශේෂත්වයකි.



Recommended Articles