මියන්මාරයට චීන ආධාර - චිලියට තවත් එන්නත්


අග්නිදිග ආසියාවේ චීනයේ අසල්වැසියා වන මියන්මාරය තෙවැනි කොරෝනා රැල්ල සමග සටන්වදිමින් සිටින අවස්ථාවේදී නව කොවිඩ් -19 වෛද්‍ය උපකරණ කාණ්ඩයක් එරටට පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කර තිබේ.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිරිතදිග චීනයේ යුනාන් පළාතේ ටෙන්චොං හිදී පැවැත්වූ උත්සවයකදී මෙම භාණ්ඩ තොග මියන්මාරය වෙත ලබාදීම සිදුව ඇත.

සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටල, විෂබීජ නාශක, තාප පිරික්සුම් යන්ත්‍ර සහ ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර ඇතුළත් වෛද්‍ය සැපයුම් සමූහය මියන්මාරයේ කචින් ප්‍රාන්තයේ අගනුවර වන මයිට්කිනා වෙත ලබාදෙන අතර, පසුව උතුරු මියන්මාරයේ ෂාන් ප්‍රාන්තය වැනි අනෙකුත් ප්‍රදේශවලට බෙදාදෙනු ඇත.

පසුගිය ජූලි මාසයේදී චීනය සෞඛ්‍යාරක්ෂක ඇඳුම් කට්ටල සමග එන්නත් මාත්‍රා මිලියන දෙකක් මියන්මාරය වෙත පරිත්‍යාග කළේය. එමෙන්ම අගෝස්තු 22දා චීන මහජන විමුක්ති හමුදාව සිය මියන්මාර සගයන්ට එන්නත් පරිත්‍යාග කළේය. එසේම වෛරසය මර්දනය කිරීමට උදව් කිරීම සඳහා චීනය වෛද්‍ය විශේෂඥයන්ද එරටට එවා තිබේ.

මේ අතර චිලී සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, චීනයේ සීනොවැක් එන්නත් තොගයක් එරටට ලැබී ඇති අතර, මෙය පෙබරවාරි මාසයෙන් පසු දකුණු ඇමරිකානු රාජ්‍යයට පැමිණන 16 වැනි සීනොවැක් එන්නත් තොගය බව කියයි.

සන්ටියාගෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සෞඛ්‍ය අමාත්‍ය එන්රික් පැරිස් සහ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති පෝලා දාසා විසින් මෙම එන්නත් තොගය පිළිගත් අතර, එන්නත් විද ගැනීමට යුහුසුළු වන ලෙස ඔවුන් දෙදෙනාම මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.

"මිනිසුන්ගෙන් 90 % කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර සෑම කෙනෙකුටම එන්නත ලබාදීම අපට අවශ්‍යයි. එම නිසා සඳුදා සහ අඟහරුවාදා දිනවල වයස 18 සහ ඊට වැඩි පුද්ගලයන්ට සිනොවැක්, ඇස්ට්‍රාසෙනෙකා හෝ කැන්සිනෝ එන්නත් ලබාගැනීම සඳහා එන්නත් මධ්‍යස්ථාන වෙත යා හැකියි" පෝලා දාසා පැවසීය.

මේ දක්වා චිලියේ ඉලක්කගත ජනගහනයෙන් 84.54%ක් පමණ සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, ජනගහනයෙන් 89.97%කට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත. චිලියේ කොවිඩ් -19 ආසාදිතයන් 1,632,441ක් සහ අදාළ මරණ 36,566ක් වාර්තා වී ඇති නමුත් එන්නත්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය නිසා මෑත සති කිහිපය තුළ වසංගතය ආරම්භ වූදා සිට අඩුම ආසාදන, රෝහල් ගතවීම් සහ මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ.



Recommended Articles