මැලේසියාවේ නව අගමැති ලෙස ඉස්මයිල් දිවුරුම් දෙයි


මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉස්මයිල් සබ්රි යාකොබ් දිවුරුම් දුන්නේය.

ඒ මැලේසියාවේ රජු වන සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා ඉදිරියේ ජාතික මාලිගාවේදීය. සාම්ප්‍රදායික මැලේ ඇඳුමින් සැරසී ඉස්මයිල් සබ්රි දිවුරුම් දීම එරට රූපවාහිනියේ සජීවීව විකාශය විය.

61 හැවිරිදි ඉස්මයිල් සබ්රි නව අගමැතිවරයා ලෙස පත්වන්නේ, එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතර සහයෝගය අහිමි වීමෙන් පසු ඉල්ලා අස් වූ මුහයිඩින් යසින්ගෙන් පසුවය.

ඔහු එක්සත් මැලේ ජාතික සංවිධානයේ උප සභාපති වන අතර, ජූලි මාසයේදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමට පෙර මුහයිඩින්ගේ කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඉස්මයිල් සබ්රිට ඔහුගේම පක්ෂයක් වන උම්නෝ සහ මුහයිඩින්ගේ ආණ්ඩුවේ අනෙකුත් පක්ෂවල සහයෝගය ලැබී ඇති අතර, එමගින් ඔහුට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සරල බහුතරය ලැබුණි.

සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ජාතික මන්දිරය පැවසුවේ ඉස්ලායිල් සබ්රිට පාර්ලිමේන්තුවේ පහළ මන්තී‍්‍රවරුන් 220දෙනාගෙන් 114දෙනෙකුගේ පිටුබලය ලැබුණු බවත්, ඒ සමග ඔහුට රජයක් පිහිටුවීමට පාර්ලිමේන්තු බහුතරයේ විශ්වාසය ලැබී ඇති නිසා ව්‍යවස්ථාවට අනුව රජු ඔහුව අගමැති ලෙස පත් කිරීමට එකඟ වූ බවත්ය.

කොවිඩ්-19 වසංගතය කළමනාකරණය කිරීමට අසමත්වීමද හිටපු අගමැති මුහයිඩින්ට බලයෙන් ඉවත්ව යෑමට හේතු වූ අතර, දිවුරුම් දුන් නව අගමැති ඉස්මයිල් සබ්රි යාකොබ් 2018 මැතිවරණයෙන් පසුව මැලේසියාවේ අගමැති ධුරයට පත් තුන් වැන්නාය.



Recommended Articles