මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ අවුලකින් සිම්බාබ්වේ ප්‍රචණ්ඩක්‍රියා ඉහළ යයි


සිම්බාබ්වේ මැතිවරණයෙන් පසුව ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා ඉහළ යෑම හේතුවෙන් එරට හරාරේ අගනගරයේ වෙළෙඳ ව්‍යාපාර රැසක් වසා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

එහිදී, හමුදාව හා පොලීසිය යොදමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට උත්සාහ කරන අතර, ජනතාවට කුපිත වන ආකාරයේ හැසිරීම්වලින් වලකින ලෙස දන්වා සිටියි.

විරුද්ධ පක්ෂ නායක නෙල්සන් චාමිසාගේ ආධාරකරුවන් හා ආරක්ෂක අංශ අතර ඊයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් තිදෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය සඳුදා පැවති මැතිවරණයේ බලවත් ඡන්ද දූෂණයක් සිදුවී තමන්ට හිමිවිය යුතු ජයග්‍රහණය වත්මන් ජනපති එමර්සන් ම්නන්ගග්වා විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන බව ඔහු චෝදනා කරයි.

කෙසේ වෙතත්, දීර්ඝ කාලයක් සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කළ රොබට් මුගාබේගෙන් පසුව එරට පැවැත්වූ ප්‍රථම මැතිවරණය මෙය වන අතර, බොහෝදෙනා රට තුළ පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වූ මැතිවරණයක්ද විය.

නමුත්, මේ වනවිට සිම්බාබ්වේ මැතිවරණ ප්‍රතිඵලයත් සමග එරට තුළ ඇතිවී තිබෙන්නේ බලවත් අරාජික තත්ත්වයකි.

මේ නිසාම, රට තුළ වහාම සාමය ස්ථාපිත කරන ලෙස විදෙස් රටවල් කිහිපයක්ම සිම්බාබ්වේ රාජ්‍යයට බලකර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles