මානව හිමිකම් මණ්ඩලයෙන් එක්සත් ජනපදය ඉවත් වෙයි


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් විමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර තිබේ.

මෙම ඉවත්වීම නිවේදනය කරමින් ඇමෙරිකාව පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය යනු 'දේශපාලන පක්ෂග්‍රාහිත්වයේ අශූචි ගොඩක්' බවයි.

එමෙන්ම, එම මණ්ඩලය 'කුහක සහ ආත්ම ලාභය' වෙනුවෙන් ක්‍රියාකරන 'මානව හිමිකම් සමච්චලයට ලක්කරන' ආයතනයක් බවද ඇමෙරිකානු නියෝජිත නිකී හේලී අවධාරණය කළාය.

ඇය මෙම නිවේදනය සිදුකරන අවස්ථාවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ ද සහභාගී වී සිටීම විශේෂත්වයකි. ඔහු කියා සිටියේ මෙම මණ්ඩලය මානව හිමිකම් සුරැකීමේ දුර්වලයෙක් බවයි.

වර්ෂ 2006 දී පිහිටුවා ගන්නාලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පිහිටා ඇති අතර, රාජ්‍යයන් 47ක් එහි සාමාජිකත්වය හොබවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටාරෙස් පවසා සිටියේ මානව හිමිකම් මණ්ඩලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය තවදුරටත් රැඳෙන්නේ නම් තමා වඩාත් කැමති බවය.

ඇමෙරිකානු දේශසීමාවට පැමිණෙන මෙක්සිකෝ සංක්‍රමණිකයන්ගේ දරුවන් ඔවුන්ගෙන් වෙන්කිරීම මානව හිමිකම් මණ්ඩලයේ දෝෂ දර්ශනයට ලක්වීමත්, ඊශ්‍රායලය සම්බන්ධයෙන් එම මණ්ඩලයේ විරෝධාකල්පයත් මෙම තීරණයට හේතුවන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමරු ට්‍රම්ප්ගේ එම තීරණය 'අයුක්තිසහගත කටයුත්තක්' ලෙස පවසා තිබුණි.



Recommended Articles