මර්සිඩීස් බෙන්ස් හිමිකාරීත්වය දරන ජර්මානු මෝටර් රථ නිෂ්පාදක ඩේම්ලර් පවසා ඇත්තේ විදුලි මෝටර් රථ සඳහා මාරුවීමට අරමුදල් සැපයීමට උත්සාහ කරන බැවින් ලොව පුරා අවම වශයෙන් රැකියා 10,000ක් වත් කපා හැරීමට සිදුවන බවයි.
ඩේම්ලර් මානව සම්පත් ප්‍රධානී විල්ෆ්‍රයිඩ් පෝර්ත් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ අහිමි වූ රැකියා සංඛ්‍යාව “සංඛ්‍යා පහක අගයක්” වනු ඇති බවයි.
මේ අතර, ජර්මනියේ රැකියා 61,000න් 9,500ක් කප්පාදු කරන බව තරගකාරී අවුඩි සමාගම පවසා දින කිහිපයකට පසුව ඔවුන් මෙම තීරණයට එලැඹ තිබේ.
ඩේම්ලර් පැවසුවේ මෝටර් රථ කර්මාන්තය එහි ඉතිහාසයේ විශාලතම පරිවර්තනය හරහා ගමන් කරමින් සිටින බවයි.
කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා විශාල ආයෝජන අවශ්‍ය වන අතර ඒ නිසා තරඟකාරිත්වය, නවෝත්පාදන සහ ආයෝජන ශක්තිය වැඩි කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන බව ඩේම්ලර් නොවැම්බර් මැද භාගයේදී නිවේදනය කළේය.
මෙම වැඩසටහනේ කොටසක් වන්නේ 2022 අවසන් වනවිට කාර්ය මණ්ඩල පිරිවැය ඩොලර් බිලියන 1.4කින් පමණ අඩු කිරීම සහ වෙනත් දේ අතර ලොව පුරා කළමනාකරණ තනතුරු සංඛ්‍යාව 10%කින් අඩු කිරීමයි.