මර්කල් අගෝස්තු 20දා පූටින් හමුවීමට සූදානම්


ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් අගෝස්තු 20දා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග මොස්කව්හිදී සාකච්ඡා කරන බව ජර්මානු සහ රුසියානු රජය අද (13දා) නිවේදනය කළේය.

ජර්මනියේ සැප්තැම්බර් 26දා පැවත්වීමට නියමිත මැතිවරණයෙන් පසුව, මර්කල් සිය ධුරයෙන් ඉවත් වීමට සති කිහිපයක් තිබියදී මෙම සංචාරය සිදු කෙරෙන අතර, නායකයන් දෙදෙනා කිහිප වතාවක්ම දුරකථන ඇමතුම් ලබා ගත්තද, එය 2020 ජනවාරි මාසයෙන් පසු රුසියානු අගනුවරට යන ඇගේ පළමු වැනි සංචාරයද සනිටුහන් කරයි.

"පාර්ශවයන්ගේ වර්තමාන සබඳතා තත්ත්වය සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවයේ අපේක්ෂාවන් මෙන්ම, ජාත්‍යන්තර හා කලාපීය කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කෙරෙනවා" ක්‍රෙම්ලිනයේ නිවේදනයේ දැක්වේ.

මේ අතර, අගෝස්තු 22දා ඇය යුක්රේන අගනුවර වන කිවි වෙත පැමිණෙන බව මර්කල්ගේ කාර්යාලය කලින් නිවේදනය කළේය. කෙසේ වෙතත් මෙම සංචාරය පැමිණෙන්නේ රුසියාව සහ ජර්මනිය අතර සබඳතා පළුදු වූ අවස්ථාවකය. ඒ පසුගිය 2020 අගෝස්තුවේදී රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි විෂ ශරීරගතවීමකින් පසු ජර්මනියේදී සුවය ලබා යළි රුසියාවට පැමිණෙන විට අත්අඩංගුවට පත්වූ පසුබිමකය.



Recommended Articles