මරණ ටිකක් වැඩි වුණාට අපි අනෙක් රටවලට වඩා හොඳින් කටයුතු කරනවා - ට්‍රම්ප්


කොවිඩ්-19 ආසාදිතයන් දෙවැනි වටයකට තවදුරටත් ඉහළ යමින්, ලොව අන් කිසිදු රටකට වඩා මරණ සංඛ්‍යාව වැඩිවී තිබුණත්, කොවිඩ්-19 වසංගතය මැඬපැවැත්වීම සඳහා තම පරිපාලනය ලොව වෙනත් කිසිදු රටකට වඩා හොඳින් කටයුතු කරමින් සිටින බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.

රූපවාහිනී සමුම්ඛ සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජනපදයේ දෛනික මරණ සංඛ්‍යාව සහ වසංගතය පිළිබඳ ප්‍රශ්නය හමුවේ ජනාධිපතිවරයා තම ආරක්ෂාව සලසාගෙන තිබුණේ මෙසේ පිළිතුරු සපයමිනි.

"හොඳයි, ඔබේ වසංගත පාලනය පිළිබඳ අර්ථ දැක්වීම කුමක්ද?" යන පැනය ට්‍රම්ප්ට යොමුවිය.

ට්‍රම්ප් ඊට පිළිතුරු දෙමින්, "මම හිතන්නේ එය පාලනය කර තියෙනවා."

"ඒ කෙසේද? දිනකට ඇමෙරිකානුවන් දහසකට වඩා මියයමින් සිටිනවා?" යළිත් පැනයක් යොමුවිය.

ට්‍රම්ප් ඊට පිළිතුරු දෙමින්, "ඔවුන් මැරෙනවා. ඒක ඇත්ත. ඔබ දැනගන්න, එය එහෙම තමයි" ට්‍රම්ප් තදින් කීවේය. "නමුත් අප අපට කළ හැකි සෑම දෙයක්ම නොකරන බව එයින් අදහස් කරන්නේ නැහැ. මරණ ටිකක් වැඩිවුණාට, පාලනය කළ හැකි තරම් අප එය පාලනය කර තිබෙනවා."

කෙසේ වෙතත් ගෙවීගිය දිනයේදීද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 54,000ක් වාර්තා කර තිබේ. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව එක්සත් ජනපදය මේ වනවිට අවම වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 4,768,829ක් හා ඒ හා සම්බන්ධ මරණ 156,771ක් වාර්තා කර ඇත.

ගෙවීගිය අඟහරුවාදා සිට මේ දක්වා නව ආසාදිතයන් 54,543ක් සහ මරණ 1,351ක් වාර්තා වී තිබේ. නමුත් මෙම අගය මීට වඩා වැඩිවිය හැකි බවද කියයි.

මේ අතර, ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඕවල් කාර්යාලයේදී කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය සමග විශාල රැස්වීමක් පැවැත්වූ බව කියා සිටියේය.

පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව ඔහු මීට සහභාගී වී ඇත්තේ, ඇමෙරිකාව තවදුරටත් කොවිඩ්-19 වසංගතයේ වඩාත් දරුණු තත්ත්වයකට පත්ව ඇති පසුබිමකය. එහිදී ඕවල් කාර්යාලයේ කාර්ය සාධක බලකායේ සාමාජිකයින්ගේ පින්තූර හතරක්ද ඊට ඇතුළත් කර තිබුණි.

එම ඡායාරූපය දෙස බලන විට, රැස්වීමේදී කාර්ය සාධක බලකායේ සාමාජිකයන් තිදෙනෙකු පමණක් මුඛ ආවරණ පැළඳ සිටි බව පෙනෙයි. ඔවුන්ගෙන් දෙදෙනෙක් ඩෙබොරා බ්‍රික්ස් සහ ඇන්තනි ෆවුසි ය.



Recommended Articles