මයිකල් සුළි කුණාටුවේ ප්‍රබල බව මාස කිහිපයකට පසුව තහවුරුවේ


එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට පසුගිය වසරේ ඇතුළු වූ සුළි කුණාටුව වසර 26ක කාලය තුළ එරටට ඇතුළු වූ ප්‍රබලතම සුළි කුණාටුව ලෙස මේ වනවිට හඳුනාගෙන තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී බලපෑ මයිකල් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගල ජීවිත 59ක් අහිමි වූ අතර, ඉන් සිදුවූ දේපල හානිය ඇ.ඩො.බිලියන 25කි.

මුලදී එය සිව්වැනි මට්ටමේ සුළි කුණාටුවක් ලෙස සටහන් වී තිබුණත්, එය ගොඩබිමට කඩා වදින විට පැයට කිලෝමීටර් 257ක වේගවත් සුළං ප්‍රවාහ ඇති කර තිබුණි.

නමුත්, එය ඇමෙරිකානු ඉතිහාසයේ එරටට ඇතුළු වූ පස්වැනි හෙවත් ප්‍රබලතම මට්ටමේ සුළි කුණාටු හතරෙන් එකක් බව මේ වනවිට නම් කර ඇත.

එමෙන්ම, වර්ෂ 1992දී ඇමෙරිකාවට කඩා වැදුණු පස්වැනි මට්ටමේ ඇන්ඩෘ සුළි කුණාටුවෙන් පසුව එරටට කඩා වැදුණු ප්‍රබලතම එම මට්ටමේ සුළි කුණාටුව බවද එරට කාලගුණ බලධාරීන් මේ වනවිට නම් කර තිබේ.



Recommended Articles