පිලිපීනයේ විවාදයට තුඩුදුන් නගරාධිපතිවරයෙකු වූ අන්තෝනියෝ හලීලී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
දකුණුදිග මැනිලා නුවර ටනාහුආන් නගර ශාලාවේ ජාතික ගීය වැයෙන අවස්ථාවේදී ඔහුගේ පපු ප්‍රදේශයට වෙඩි පහර එල්ල වී ඇති බව වාර්තා වෙයි.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී එම ස්ථානයේ රැඳී සිටි පිරිස් හිස් ලූ ලූ අත දිවයන ආකාරය වීඩියෝ දර්ශනවල දැකගත හැකිය.
මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තමන් සිදුකළ වරද දැක්වෙන පුවරු රැගෙන ඔවුන් නගරයේ වීදිපුරා රැගෙන ගිය මෙම නගරාධිපතිවරයා, ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන්නෙකු ලෙසද විවාදයට තුඩුදී තිබුණි. නමුත්, එම චෝදනා ඔහු එවකට තරයේ ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත්, මෙම වෙඩි ප්‍රහාරයෙන් පසුව තුවක්කුකරු පළාගොස් ඇති අතර, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගැනීමට ආරක්ෂක අංශ අපොහොසත් වී තිබේ.
පළාත් පොලිස් ප්‍රධානී රෙනාටෝ මෙර්කාඩෝ ප්‍රංශ පුවත් සේවය වෙත පවසා සිටියේ මීටර් 150ක් පමණ දුරක සිට විවෘත වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි.
ඒ අනුව, මෙය තරමක් දුර සිට සිදුකර ඇති වෙඩි තැබීමක් බවත්, හොඳ ආයුද පුහුණුවක් හා වෙඩි තැබීමේ පුහුණුවක් ලැබූවෙකුට මිස මෙවැනි එල්ලයක් ලබාගැනීම පහසු නොවන බවත් පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් පවසා තිබේ.
ඔහුගෙන් හිස්වන ටනාහුආන් නගරාධිපති ධුරයට නියෝජ්‍ය නගරාධිපතිනී ජොඅන්නා කොරෝනා පත්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.